Slider

iPhone දෙකක් ගත්තේ සංස්ථාව ඩිජිටල් කරන්නයි.




ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රාජකාරීමය වැඩ කටයුතු සඳහා මිලදී ගත් ‘අයි ෆෝන් ‘දෙකක බිල් සමාජගත වූයේ කෙසේද යන්න විශාල ගැටලුවක් බවත් ආයතනයක ගනුදෙනු සම්බන්ධ රහස්‍ය ලියකියවිලි මෙලෙස සමාජගතවීම සම්බන්ධයෙන් සොයාබලන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පැවසුවේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තවත් මෙවැනි දත්ත වාර්තා හා රහස්‍ය තොරතුරු ද මේ ආකාරයටම සමාජගතවීමේ අවධානමක් ඇති බවද මේ හේතුවෙන් ඉතාමත් ඉක්මනින්ම සංස්ථාව නව තාක්ෂණය සමග ඩිජිටල්කරණය කිරීම ආරම්භ කරන බව ද හෙතෙම කීවේය.

ඔහු පෙන්වා දුන්නේ ඩිජිටල්කරණය කිරීමේ කටයුතු එළැඹෙන සතියේදීම ආරම්භ කරන බවත් එවිට මෙලෙස ආයතනය තුළ ඇති තොරතුරු පිටතට ලබාදෙන්නට කිසිවකුටත් හැකියාවක් නොලැබෙන බවත් ය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා අදහස් දක්වමින් තවදුරටත් කියා සිටියේ මෙම ඩිජිටල්කරණ වැඩසටහන මූලික කරගෙන සංස්ථාවට අදාළ අයිෆොන් දෙක මිලදී ගත් බවත් එම ජංගම දුරකථන මිලදී ගත්තේ සංස්ථාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටත්ව අදාළ සියලු පාර්ශ්වයන්ගේ අනුමැතියෙන් බවත් ය.

එම ‘අයි ෆෝන්’ කිසිදු අයකුගේ පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් ඒවා නොවන බවද හුදෙක්ම ඛනිජ තෙල් සංස්ථාවේ රාජකාරි කටයුතු සඳහා මිලදී ගත් ඒවා බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
© all rights reserved
Designed by LCN Media