Slider

තරුණියක් අපයෝජනයට ලක් කළ බව කියන පෙම්වතා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ



දෙවියන් ඉදිරියේ කුංකුම නළලේ තබා විවාහ කරගන්නා බවට පොරොන්දුවක් ලබාදී මාස පහක් තිස්සේ තරුණියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පෙම්වතකු ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (04දා) නියෝග කළේය.

කොළඹ 06 පදිංචි තරුණියක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පෙම්වතකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

වින්දිත තැනැත්තිය සිය නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා මගින් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇය 2024 නොවැම්බර් මස 22 වැනිදා සිට 2025 අප්‍රේල් මස 30 වැනි දින දක්වා වරින්වර පෙම්වතාගේ අතවරයට ලක් වී ඇති බවයි.

අගතියට පත් තැනැත්තියගේ නීතිඥවරයා අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ පැවසීය: "වින්දිත තැනැත්තිය ප්‍රකාශ කරන ආකාරයට මොවුන් 2023 වසරේදී හඳුනාගෙන තියෙනවා. මුලින් මිතුරන් ලෙස දැන හදුනාගත් දෙදෙනා මාස අටකට පමණ පසුව හමුව තිබෙනවා. එම හමු වූ අවස්ථාවේදී සැකකරු විවාහ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි සැකකාරිය යළි ඕස්ට්‍රේලියාව බලා යෑමට නියමිත බැවින් ඊට පෙර විවාහ වීමට දෙදෙනා තීන්දු කරගෙන තිබෙනවා."

"සැකකරු හින්දු භක්තිකයකු වූ බැවින් කෝවිලට ගොස් විවාහ කරගන්නා බවට දැනුම්දී කුංකුම නළලේ තබා විවාහ කර ගත් බවට අඟවා වින්දිත තැනැත්තියව ඕස්ට්‍රේලියාවට ගොස් පැමිණි පසුව නීත්‍යනුකූලව විවාහ කර ගන්නා බවට සැකකරු පොරොන්දු වී තිබෙනවා," යැයි නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

"ඕස්ට්‍රේලියාවට යෑමට පෙරත් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි පසුවත් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇති සැකකරු ඔවුන් චාරිත්‍රානුකූලව විවාහ වී ඇති බැවින් අඹු සැමියන් ලෙස සිටීම යුතු බව පවසා ඇත. සැමියා ලෙස දෙදෙනා විසින් ඔවුනොවුන් අමතා කතාබහ කර තිබෙනවා.

හිත මිතුරන් හමුවූ අවස්ථාවේදී පවා සැමියා ලෙස ඔවුනොවුන් හදුනාගෙන කතාබහ කර ඇති අතර මාස පහකට පමණ පසුව සැකකරු විවාහ වීම ප්‍රතික්ෂේප කර වංචා සහගතව කටයුතු කිරීමට පෙලඹී තිබෙනවා."

සැකකරු සිදුකර ඇති වංචා සහගත ක්‍රියා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 362 ආ වගන්තිය යටතේ බරපතළ වරදක් බවත්, වසර දහයක සිර දඬුවමකට යටත් වන බවටත් නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නඩු පැවරීමට කටයුතු කරන බවය. සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් සැකකරු ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට කරගෙන යාමට පොලිසිය විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරන ලද අතර, ඒ අනුව අතිරේක මහෙස්ත්‍රාත්තුමා ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන අතර, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර සාක්ෂි රැස් කිරීමේ කටයුතුවල නිරත වී සිටී.
© all rights reserved
Designed by LCN Media