දහහත් හැවිරිදි වියේ පසු වූ රිසානාගේ කතා පුවත, 'රිසානා - කූඩු කළ කිරිල්ලිය' (RIZANA – A CAGED BIRD) නමින් සිනමා නිර්මාණයකට නගන්නේ සම්මානනීය අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසිනි. ස්ටීවන් ස්පිල්බර්ග්, ජෝර්ජ් ලූකස් සහ ඩේවිඩ් ලීන් වැනි හොලිවුඩ් දැවැන්තයන් සමග කටයුතු කර, ජාත්‍යන්තර සිනමා නිර්මාණ සියයකට අධික සංඛ්‍යාවකට දායක වූ චන්ද්‍රන් රත්නම්, 'අලිමංකඩ' සහ 'A Common Man' වැනි නිර්මාණ හරහා දේශීය සිනමාවටද සිය අනන්‍යතාව එක් කළ නිර්මාණකරුවෙකි.
මෙම සිනමාපටයේ තිර රචනය ජේම්ස් රත්නම් විසින් සිදු කර ඇති අතර,
ඔහු පවසන්නේ රිසානාගේ කතාව අදටත් ලෝකය කම්පා කරන, මානව හිමිකම් පිළිබඳව නැවත සිතා බැලීමට බල කරන කාරණයක් බවයි. මෙම සිනමා නිර්මාණය හරහා රිසානාට ගෞරවයක් සහ ඇය වෙනුවෙන් හඬක් ලබා දීම සිය අරමුණ බවද ඔහු සඳහන් කළේය.
'Reversal of Fortune' චිත්‍රපටය වෙනුවෙන් ඔස්කා සම්මානය දිනූ සුප්‍රකට හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් මෙම නිර්මාණයට සිය රංගන දායකත්වය සපයයි. ශ්‍රී ලංකාවට පැමිණ ආසියාතික සිනමා නිර්මාණයකට දායක වීමට ලැබීම නව අත්දැකීමක් බව පවසන ඔහු, මරණීය දණ්ඩනය වැනි හද කම්පා කරවන දඬුවමක් ලෝකයෙන් තුරන් විය යුතු බවට සිනමාව ඔස්සේ ප්‍රබල ප්‍රකාශනයක් සිදුකිරීම සිය අභිප්‍රාය බව අවධාරණය කළේය.
චිත්‍රපටයට එක්වන සම්මානනීය ඉන්දීය නිළි වරලක්ෂ්මි සරත්කුමාර් පවසන්නේ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක ලෙස රිසානාගේ කතාව තම හදවතට දැඩිවම දැනුණු බවයි. චන්ද්‍රන් රත්නම් වැනි අධ්‍යක්ෂවරයෙකු යටතේ සහ ජෙරමි අයන්ස් වැනි ප්‍රවීණයෙකු සමග රංගනයේ යෙදීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකන බවද ඇය සඳහන් කළාය.
සුමති හෝල්ඩින්ග්ස් සභාපති ජගත් සුමතිපාල මහතාගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වන මෙහි, රිසානාගේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ නවක නිළි විදුෂිකා රෙඩ්ඩි විසිනි. මෙය ඇගේ පළමු සිනමා රංගනය වුවද, ඇගේ රංගන ප්‍රතිභාව තුළින් ලාංකේය සිනමාවට නවක නිළියකගේ ආගමනය සනිටුහන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.