Slider

ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව ගත්ත අනුරාධපුරේ තිලකරත්න අතුරුදන්..



රුපියල් ලක්ෂ හතලිහක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණ්‍ය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරු අතුල තිලකරත්න නමැත්තා වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදාහැර තිබිණි.

'මූල්‍ය වංචාවකට හිරේ ගිය අයකු වෙසක් දා සමාවෙන් ගෙදර ඇරලා' මැයෙන් මේ ගැන පුවත්පත් වාර්තා කළ අතර පසුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෙරුණු ප්‍රශ්න කිරීම සමග සමාජයේ විශාල කතාබහක් නිර්මාණය විය.

ඉන්පසුව ජනාධිපති මාධ්‍ය අංශය ජූනි 7 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වෙසක් පෝ දින සිරකරුවන් නිදහස් කිරීමට අදාළව 2025-05-06 දා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත වූ බවත්,
නමුත් එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවූ බවයි.

අනුරාධපුර බන්ධනාගාරයේ සහකාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජූනි 8 වන දින පස්වරුවේදී අත්අඩංගුවට ගත්තේ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළවය.

මීට අමතරව ජනපතිට පෙර අවසාන අනුමැතිය දුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මේ සිද්දිය නිසා වැඩ තහනමට ලක්වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ ඊයේය.

තමා නැවත අත්අඩංගුවට පත්වේය යන බියෙන් මේ වනවිට අතුල තිලකරන්න නිවෙසින් පළාගොස් ඇති අතර පොලිසිය ඔහු සොයා මෙහෙයුම් අරඹා ඇත.

පෙරකී අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා තිබේ. ඒ අනුව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකු ඉකුත් මැයි 12 වැනිදාට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදාහැර ඇති බව පැවසේ.

නිදහස් කර මුදා හැර සිටින එව්ස් 69/2018 අංක දරන නඩුවේ විත්තිකාර විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරන්න යන අයට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු 31 ක් පවතින බව හෙළිවී ඇත.

ඒ සියල්ල මහ පරිමාණ මූල්‍ය වංචා සිද්ධීන්වලට අදාළ ඒවාවීම විශේෂත්වයකි. මෙම සියලු නඩුවලට අදාළව විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයයි.

මෙම නඩු 31 කට අදාළව විත්තිකාර විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න යන අය වංචා කර ඇති බව කියන මුළු මුදල රුපියල් පනස් පන් කෝටි අසූ දෙලක්ෂ තිස් පන් දහස් හැත්තෑ හතරකි. විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඉහළ මට්ටමේ රජයේ නිලධාරීන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ප්‍රධාන පෙළේ රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් උසස් පොලිස් නිලධාරීන් ද මෙම පැමිණිලිකරුවන් අතර සිටීම විශේෂත්වයකි.


මේ අතරින් නඩු තුනකට අදාළව නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ ඇති අතර, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින සෙසු නඩු 28 සඳහා නීතිපති උපදෙස් පතා ඇත. විත්තිකාර විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නැමැත්තා 2011 සැප්තැම්බර් 11 වැනිදා සිට 2014 ජූනි 07 වැනිදා දක්වා අතර කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළකු ලෙස සේවය කර ඇති බවත්, එකී සේවයේ යෙදී සිටින අතරතුරම මෙරට ප්‍රධාන පෙළේ මුල්‍ය ආයතනයක කළමනාකරුවකු ලෙස කටයුතු කරමින් මෙම මහ පරිමාණ මූල්‍ය වංචාව සිදු කර ඇති බවත් අනාවරණ වී තිබේ.

ගෙවුණු වසරේ සහ පසුගිය නත්තල් දිනයේදී රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති සමාවට නුසුදුසු සිරකරුවන් 26දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැම් බන්ධනාගාර ප්‍රධානීන් විසින් කර ඇතැයි පැවසෙන මෙම ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදුකරයි.

මේ අතර ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් නිදහස් කෙරුණු අනුරාධපුරයේ අතුල තිලකරත්න නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවනු ලැබ සිටිති.
© all rights reserved
Designed by LCN Media