Slider

ටෙස්ට් තරගාවලිය 1-0කින් ජයගනී - ප්‍රභාත් කඩුළු 5 යි



ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 78ක ජයක් ලබාගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය සමඟ තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව සතු විය.

SSC ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ සිව්වන දින වූ අද (ජූනි 28) උදෑසන බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය. ඔවුන්ට කඩුලු 6ක් දැවී ලකුණු 115ක් ලබා තිබුණු අතර අවසානයේ සියලු කඩුලු දැවී ලකුණු 133ක් පමණක් රැස් කිරීමට සමත් විය.

තරගයේදී බංග්ලාදේශ පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සැලකිය යුතු අභියෝගයකට මුහුණ දීමට සිදු වූ අතර, කිසිදු පිතිකරුවකුට ලකුණු 30 ඉක්මවා යාමට නොහැකි විය. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු ලකුණු 26ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් විශිෂ්ට දස්කම් පෙන්වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත් විය. එමෙන්ම ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.

මෙම ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්තර්ජාතික ටෙස්ට් තරගාවලියක සාර්ථකත්වය අත්පත් කරගත් අතර, විශේෂයෙන් ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීමේ හැකියාව ප්‍රශංසාවට ලක්විය.



© all rights reserved
Designed by LCN Media