Slider

ජෙනියට තෙල් නොදීමෙන් දුම්රියපල කළුවරේ..



මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අධික සුළං සමග පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ විදුලි බලය වරින්වර විසන්ධිවන බවත්, දුම්රිය ස්ථානය සතුව විශාල විදුලි උත්පාදක යන්ත්‍රයක් තිබුණද ඉන්ධන ලබා නොදීම හමුවේ හැටන් දුම්රිය ස්ථානය අදුරේ පවතින බව එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.

උඩරට දුම්රිය මාර්ගයේ ඉතා කාර්යබහුල සහ මගීන් විශාල පිරිසක් දුම්රියෙන් ගමන්බිමන් යන දුම්රිය ස්ථානයක් ලෙස හැටන් දුම්රිය ස්ථානය හදුන්වන අතර, මේ දිනවල වරින්වර බිද වැටෙන විදුලි බලයත් සමග හැටන් දුම්රිය ස්ථානය රාත්‍රි කාලයේ අදුරේ පැවතීම සම්බන්ධයෙන් මගීන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත අප දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් සිදු කල විමසීමකදී ඔහු මේ බව පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැකුවූ හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ හැටන් දුම්රිය ස්ථානය සතුව විශාල විදුලි උත්පාදක යන්ත්‍රයක් ඇති බවත්, එම විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් ඉන්ධන දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිකුත් නොකිරිම හමුවේ මෙම තත්වය උද්ගත වී ඇති බවයි.

විදුලි උත්පාදක යන්ත්‍රයේ ඉන්ධන ටැංකිය තුල 20%ට වැඩි ඉන්ධන ප්‍රතිශතයක් තිබේ නම් පමණක් විදුලි උත්පාදක යන්ත්‍රය අවශ්‍යතාවය පරිදි ක්‍රියාතිමක කරන ලෙස දුම්රිය ඉංජිනේරු අංශය විසින් උපදෙස් ලබා දී ඇති බවත්, මේ වන විට එම විදුලි උත්පාදක යන්ත්‍රයේ 17%ක ඉන්ධන ප්‍රමාණයක් ඇති නිසා විදුලි උත්පාදන යන්ත්‍රය ක්‍රියාත්මක කල නොහැකි බවයි හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ඉකුත් අප්‍රේල් මාසයේ විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් ලීටර් 50ක් ඉල්ලා ලිපියක් යොමු කල බවත්, එයට මෙතෙක් දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර නොලැබුණ බවත්, ඩීසල් ඉන්ධන ලීටර් 50ක් තමන්ට ලැබෙන්නේ නම් එම ඉන්ධන ප්‍රමාණය මාස 05කට පමණ ප්‍රමාණවත් බවයි හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ
© all rights reserved
Designed by LCN Media