Slider

ලොවෙත් නෑ කිවුව චිචිගේ රොකට්ටුව තියෙන තැන එක්සත් ජාතීන් (UN) පෙන්වයි..



පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

අහසේ පවතින වස්තූන්ගෙන් අපල එන බවට ජවිපෙ නායකයින් විශ්වාස නොකලත් අද චිචී රොකට්ටුව නමින් රටම දන්නා සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ආණ්ඩුවට බරපතල මාරකයක් ගෙනැවිත් ඇති බව පැහැදිලියි. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා පසුගිය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කලේ සුප්‍රීම් සැට් නමින් චන්ද්‍රිකාවක් ගුවන් ගත කර නෑ කියලා. එතුමා ඒකට මූලාශ්‍රය ලෙස කිව්වේ චන්ද්‍රිකා පිලිබඳ කටයුතු කරන එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනය ලෙස එතුමා හැඳින්වූ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය නැතිනම් අයිටියූ එක. මුලින්ම කියන්න ඕනි අයිටියූ කියන්නේ චන්ද්‍රිකා සම්බන්ධ එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනය නොවේ. ඒක ආණ්ඩුවේ තවත් පචයක්. ඒක ප්‍රධාන වශයෙන් කරන්නේ ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් සැකසීමට අමතරව විශ්වීය සංඛ්‍යාත බෙදා හැරීම සහ නියාමනයයි.

චන්ද්‍රිකා ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙනම එක්සත් ජාතින්ගේ ආයතනයක් තිබෙනවා. ඒකට කියන්නේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ එක්සත් ජාතින්ගේ කාර්යාලය. United Nations Office for Outer Space Affairs. ඒක බිහි කරන්නේ ජාත්‍යන්තර සම්මුතියක ප්‍රතිඵලයක් විධියටයි. නලින්ද ඇමතිතුමා සුප්‍රීම් සැට් නමින් චන්ද්‍රිකාවක් නෑ කියලා විශ්වාසයෙන් කිව්වත් ඒ බව ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් ඉදිරිපත් කලේ නෑ. ඔන්න මම දැන් සාක්ෂි සමගම සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව තිබෙන තැන පෙන්වනවා.

ගූගල් සෙවුම් යන්ත්‍රයේ United Nations Office for Outer Space Affairs කියලා සෙව්වාම මේ වෙබ් අඩවියට එනවා. මේ වෙබ් අඩවියේ තිබෙනවා space object register නමින් ලැයිස්තුවක්. ඒකේ තිබෙනවා. Online index of objects launched into Outer Space නමින් අයිතමයක්. ඒක එබුවාම එනවා Online index of objects launched to into Outer Space කියන වෙබ් පිටුව. එතැන තිබෙන සෙවුම් යන්ත්‍රයේ අපි ලියමු supremesat කියලා. දැන් එනවා supremesat 1 සහ supremesat 2 කියලා චන්ද්‍රිකා දෙකක් ගැන තොරතුරු. මාව අල්ල ගන්න එපා. මේ ආණ්ඩුව බොරු කියනවා කියලා කියන්නේ මම නෙමෙයි. අභ්‍යාවකාශ කටයුතු පිළිබඳ එක්සත් ජාතින්ගේ කාර්යාලයේ තියෙන අන්තර්ජාල ලේඛණයේ. අපි දැන් supremesat 1 ගැන සොයලා බලමු. මේ චන්ද්‍රිකාවේ නම විධියට දැක්වෙන්නේ සොන්ග් සින්ග් 12. ඒ තමයි චීන නම. චීන නම් අපට උච්චාරණය කරන්න මතක තබා ගන්න අපහසු නිසා ඒ අය ජාත්‍යන්තර කටයුතු වල දී ඉංග්‍රිසි නම් භාවිතා කරනවා. චයිනාසැට් 12 කියන්නේ ඒකේ ජාත්‍යන්තර නම. චයිනාසැට් 12 කියන්නේ චීනය ගුවන් ගත කළ චන්ද්‍රිකාවක්.

චයිනාසැට් 12 චන්ද්‍රිකාවේ සන්නිවේදන උපකරණ ඇතුළු කොටසක් සුප්‍රීම් සැට් සමාගම මිල දී ගන්නවා. ඒක හරියට සත් මහල් ගොඩනැගිල්ලක එක මහලක් අපි මිල දී ගන්නවා වගේ වැඩක්. එහෙම නැතිනම් මහල් නිවාස සංකීර්ණයකින් මහල් නිවාසයක් මිල දී ගන්නවා වගේ වැඩක්. දැන් මේ චන්ද්‍රිකාව චීනයට වගේම ලංකාවටත් අයිති නිසා රටවල් දෙකේම ධජ මේ චන්ද්‍රිකාවට එක් වෙනවා. ඒ වගේම සුප්‍රීම් සැට් සමාගම විසින් මේ චන්ද්‍රිකාව සුප්‍රීම් සැට් 1 යනුවෙන් නම් කරනවා. අපි ඒකට co-branding නැතිනම් සමනාමකරණය ලෙස හැඳින්වෙනවා. අපි කොළඹ කියන කොට ඉංග්‍රිසීන් කලම්බු කියනවා. අපි නාගදීපය කියන දූපතටම දෙමළෙන් නයිනතිව් කියනවා. ඒ වගේ එකම චන්ද්‍රිකාවට චීන නම, ශ්‍රී ලංකා නම සහ ජාත්‍යන්තර නම වශයෙන් නම් තුනක් තිබෙනවා. මේ නම් තුනම අන්තර්ජාල ලේඛණයේ දැක්වෙන බව ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන්.

2012 නොවැමබර් 27 යැව්වා කියලානේ. මෙකෙත් ඒ වගේම ගුවන් ගත කල දිනය විදියට නැතිනම් උඩුගත කල දිනය විදියට 2012.11.27. Registration document කියලා යොමුවක් තියෙනවා. මේ ලියාපදිංචියට අදාළ සියලුම ලේඛණ සියලුම ජාත්‍යන්තර භාෂාවලින් මේ වෙබ් අඩවියේ ඉදිරිපත් කරලා තියෙනවා. කාටහරි හිතෙන්න පුලුවන්. 2012 යැව්වා වුනාට නලින්ද ඇමතිතුමා බැලුවේ දැන්නේ. දැන් නෑ කියලා නේ. වෙන්න පුලුවන්නේ. අපේ සීයා ඉන්නවා කියලා මම සීයාගේ උප්පැන් සහතිකය පෙන්නලා බෑනේ. සීයා දැන් මැරිලානේ. එදා ඉපදිච්ච බව ඇත්ත. දැන් නැද්ද කියන ප්‍රශ්නේ එනවානේ. සාධාරණ ප්‍රශ්නයක් නේ. ඒ ප්‍රශ්නේත් මේ වෙබ් අඩවිය විසඳලා තියෙනවා. Date of decay or change මේ චන්ද්‍රිකාව සුන්බුන් බවට පත් වුණා නම් චන්ද්‍රිකාව ඉවත් වුණා නම් ඒ ඉවත් වෙච්ච දවස ඒ චන්ද්‍රිකාව වෙනස් වුණා නම් ඒ වෙනස් කරපු දවස. එහෙම එකක් මේකේ සටහන් වෙන්නේ නෑ. මේකේ තාම තියෙනවා Status කියලා. මේ දැන් මේ මොහොතේ තියෙන්නේ කොතනද? කියලාත් ඒ වෙබ්අඩවියේ පෙන්වනවා.

එහෙම නම් අණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා ආණ්ඩුවේ මාධ්‍ය හමුවේදී පසුගිය සතියේ කියලා තියෙන්නේ අර ආණ්ඩුවේ පච වැලට තවත් එක් පචයක් එකතු කිරීමයි. නලින්ද ඇමතිතුමා කියනවා ලංකාවට වෙන් වුණු අභ්‍යවකාශ ස්ථාන දෙකේ චන්ද්‍රිකා ගුවන් ගත කරලා නෑ කියලා. දැන් කවුද ලංකාවේ අවකාශයේ චන්ද්‍රිකා තිබෙනවා කිව්වේ. සුප්‍රීම් සැට් සමාගම කිව්වෙත් නෑ. චිචී කිව්වෙත් නෑ. විපක්ෂයෙන් කිව්වෙත් නෑ. ඒක කිව්වේ වසන්ත සමරසිංහ ඇමතිතුමා. එතුමා තමයි කිව්වේ අපිට හිමි අභ්‍යවකාශ අවකාශය ටෙන්ඩර් කැඳවීමකින් තොරව සුප්‍රීම් සැට් සමාගමට දීලා කියලා. ඒක බොරුවක් බවයි නලින් ඇමතිතුමා කියන්නේ.

දැන් ඔන්න අගමැතිනිය ප්‍රකාශ කරලා දිනක් ඇතුලත වසන්ත ඇමතිතුමා කිව්වා අගමැතිනිය කිව්වේ බොරු කියලා. ඒ ප්‍රකාශය කරලා දින හතරකින් නලින්ද ඇමතිතුමා කිව්වා වසන්ත ඇමතිතුමා කිව්වේ බොරු කියලා. නලින්ද ඇමතිතුමාගේ ප්‍රකාශයෙන් දවස් හයකට පස්සේ මම කිව්වා නලින්ද ඇමතිතුමා කියන්නේ බොරු කියලා. මේක දැන් බොරු චක්‍රයක් වෙලා. පුළුවන් නම් මම කියන්නේ බොරු කියලා ඔප්පු කරන්න කියලා ආණ්ඩුවේ ඇමතිවරුන්ට මම අභියෝග කරනවා.

ඉංග්‍රිසි කියමනක් තිබෙනවා if you can’t convince, then confuse කියලා. ඒකෙන් කියන්නේ තමන් කියන්නේ ඇත්තක් බව ඔප්පු කර ගන්න බැරි නම් වැල්වටාරම් ගොඩක් කියලා අසන්නාගේ මනස ව්‍යාකූල කරන්න කියලා. මේ මොහොතේ ආණ්ඩුව කරමින් ඉන්නේ ඒකයි.

වසන්ත ඇමතිතුමා කියන විධියට සුප්‍රීම් සැට් සමාගම ලාභ වුණත් පාඩු වුණත් අපට මොකෝ? නලින්ද ඇමතිතුමා කියන විධියට අපේ අභ්‍යවකාශ අවකාශය චන්ද්‍රිකාවකට නුදුන්නත් අපට මොකෝ? ඕක නොවේනේ මාලිමාව මතු කළ සංවාදය. සංවාදය වුණේ අපේ අරමුදල් ඩොලර් මිලියන 280ක් වැය කරලා හරි රාජපක්ෂවරුන්ගේ ඩොලර් මිලියන 380ක් වැය කරලා හරි චන්ද්‍රිකාවක් ගුවන් ගත කලා ද නැද්ද කියන එකනේ. දැන් ඒක බොරුවක් බව අගමැතිනිය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරලා තිබෙනවා. වෙන වැල් බයිලා කිව්වාට චිචීගේ චන්ද්‍රිකා සිහිනය සැබෑ කරන්න අපේ සල්ලි භාවිතා කර නෑ කියලා අගමැතිනිය කියූ ඒ කතාව බොරුවක් බව මේ කවුරුවත් කියන්නේ නෑනෙ. එච්චරයි අදාල. ඉතුරු කතා වැල්වටාරම්.
© all rights reserved
Designed by LCN Media