Slider

LGBTQ+ ලිපියේ අරමුණ අප සමානාත්මතාව පිලිගන්නා බවයි..



ශ‍්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් සම්බන්ධයෙන් සමාජය තුළ ඇති වී තිබෙන අර්ථකථනය පිළිබඳව එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා විසින් නිල ප්‍රකාශයක් සිදුකර ඇත.

සභාපතිවරයා පැහැදිලි කළේ, අදාළ ලිපියේ මූලික අදහස වූයේ LGBTQ+ ප්‍රජාව සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම බවයි. කෙසේ වෙතත්, මෙම ලිපිය මඟින් LGBTQ+ ප්‍රවර්ධනයක් සිදුකරන බවට වැරදි අවබෝධයක් සමාජගත වී ඇති අතර, එය භාෂා අවබෝධයේ දෝෂයක් නිසා සිදුවූවක් බව හෙතෙම පෙන්වා දුන්නේය.ඔහු අවධාරණය කළේ, ලිපිය මගින් බලාපොරොත්තු වූයේ, “විවිධත්වය සහ අන්තර්ගතය” පිළිබඳ සමාජය පිළිගත් සමානාත්මතා ගුණාංගයන් සංචාරක ව්‍යාපාරය තුළට ගෙන ඒම පමණක් බවයි.

හේවාවසම් මහතා කියා සිටියේ, රජයක් වශයෙනුත්, ආයතනයක් වශයෙනුත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ජාතීන්ගේ හා ජනවර්ගවල සමානාත්මතාවය සුරකින පදනමේ සිටින බවයි.

ලිංගික, ජාතීන් හෝ ආගම් වශයෙන් කිසිසේත්ම බෙදීමක් අපේක්ෂා නොකරන බව ඔහු ප්‍රකාශ කළේය.

විදේශික හෝ සංචාරක ඕනෑම ජනවර්ගයක සමානාත්මතාව සුරැකීම තම ප්‍රධාන වගකීම බව සභාපතිවරයා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හෝ සංවර්ධන අධිකාරිය කිසිසේත්ම ලිංගික සංචාරක ව්‍යාපාරයක් ප්‍රමුඛ කිරීම හෝ ප්‍රචාරය කිරීම සිදු නොකරන බව ඔහු කියා සිටියේය.

ලංකාව ප්‍රචාරය කිරීම සඳහා සංස්කෘතික, ආගමික සහ ස්වභාවික වටිනාකම් ඕනෑ තරම් තිබෙන බවත්, ලෝකයට ගෙන යන්නේ එම වටිනාකම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කාර්යාංශයේ අපේක්ෂාව වන්නේ, ලාංකික සමාජය, සියලු දෙනාටම සමානාත්මතාව සුරකින, පුද්ගලිකත්වයට ගරු කරන, සහ අනන්‍යතාවයට ගරු කරන සමාජයක් ලෙස සංචාරක ව්‍යාපාරයට ඉදිරිපත් කිරීම බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

වර්තමානයේ ක්‍රියාත්මක වන සංචාරකයන් මිලියන තුනක ඉලක්කයට ළඟා වීමේ වැඩපිළිවෙල යටතේ, සංචාරකයින්ට රට සුරක්ෂිත රටක් ලෙසත්, සමානාත්මතාවය සුරකින රටක් ලෙසත්, ලිංගික අනන්‍යතාව පිළිබඳව ප්‍රශ්න ඇති නොකරන රටක් ලෙසත් ඉදිරිපත් කිරීම අරමුණයි. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනය සහ දැනුම ලබා දීම පමණක් මෙහිදී සිදුවන බව ඔහු තහවුරු කළේය.

කාදිනල්තුමාගේ සංවේදනය පිළිබඳව විශේෂයෙන්ම කම්පාවට පත්වන බවත්, එයද වැරදි අර්ථකථනයක් නිසා සිදුවූවක් බවට තමන් විශ්වාස කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. උපතින් යම් කෙනෙකු අසමානතාවයක සිටිනවා නම්, ඔවුන්ට ගෞරවයකින් සැලකිය යුතුය යන කාදිනල්තුමාගේ අදහසට තමන්ද එකඟ වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට කිසිදු ආකාරයක අනියම් ප්‍රවර්ධනයක් කිරීමට හෝ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව හේවාවසම් මහතා අවසාන වශයෙන් තහවුරු කළේය.
© all rights reserved
Designed by LCN Media