Slider

දීමනා ගෙවන්න මුදල් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රධාන රෝහලක ප‍්‍රධානියෙකුට දන්වයි..



විශේෂ වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ ජාතික මට්ටමේ රෝහලක වැඩබලන අධ්‍යක්‍ෂවරයෙකු වන විශේෂඥ වෛද්‍යවරයකු තම හිඟ අමතර රාජකාරි දීමනා ගෙවීම ප්‍රමාද වීම නිසා මුහුණ දෙන දැඩි මූල්‍ය දුෂ්කරතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබේ.ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා විසින් අරමුදල් නොමැති බව දන්වා හිඟ මුදල් ගෙවීම ලබන වසර දක්වා එනම් වසරක් පමණ ප්‍රමාද වන බවට දැනුම් දීමෙන් පසුවයි.

වැඩබලන අධ්‍යක්‍ෂවරයා සඳහන් කර ඇත්තේ, මෙම ප්‍රමාදය හේතුවෙන් තමන් දැඩි මූල්‍ය දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බවයි. තම මවගේ රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් බැංකු අයිරාවක් ලබාගෙන ඇති අතර, ඒ සඳහා මසකට රු. 15,000ක පොලී මුදලක් ගෙවීමට සිදුවී ඇත. එසේම, රෝහලට යාමට පවා ගමන් වියදම් සොයා ගැනීමට අපහසු වී ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති ලිපියේ තවත් කරුණු කිහිපයක් මෙසේය

අමතර රාජකාරි දීමනා ගෙවීම ප්‍රමාද වුවද, රජයට ගෙවිය යුතු බදු මුදල් නියමිත වේලාවට වැටුපෙන් අඩු කරගන්නා බව ඔහු පෙන්වා දෙයි.

මෙම ප්‍රමාදය හේතුවෙන්, රජය සතු ලංකා බැංකුවට පොලී ගෙවීමට සිදුවී ඇති අතර, එම පොලිය බැංකුවේ ලාභය හා රාජ්‍ය ආදායම බවට පත්වීම පරස්පරතාවයක් බවද ඔහු සඳහන් කර ඇත.

වසර 5ක හිඟ මුදල් වන රු. 1,648,830.00 ක මුදලක් තමන්ට ලැබිය යුතු වුවද, එයින් රු. 499,578.84 ක් නැවත බදු ලෙස කපා හරිනු ලබන බව ඔහු පවසයි.

රජයේ ආයතනයක් මගින් ඉදි කරන ලද නිවාස ව්‍යාපෘතියක් සඳහා රු. 4,500,000 ක මුදලක් ගෙවා තිබුණද, එම ව්‍යාපෘතිය නිසි වේලාවට නිම නොකළ බැවින් මසකට රු. 45,000 ක් ගෙවා කුලී නිවසක පදිංචි වී සිටින බවත්, ඒ සඳහා ගත් බැංකු ණයක් වෙනුවෙන් මසකට රු. 105,000 ක් ගෙවන බවත් ලිපියේ සඳහන් වේ.

මෙම තත්වය රාජ්‍ය අකාර්යක්ෂමතාවය සහ මූල්‍ය කළමනාකරණ දෝෂ නිසා ඇති වූවක් බවත්, මෙය තම වරදක් නොවන බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි.

පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වූවා නම් වැටුප් ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි වුවද, රාජ්‍ය සේවකයකුට එසේ කිරීමට ආයතනයක් නොමැති වීම නිසා තමන් අසරණ වී ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත.

මෙම ගැටලුවට විසඳුම් ලෙස වෛද්‍යවරයා ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර ඇත.හිඟ අමතර රාජකාරි දීමනා කඩිනමින් ගෙවීම.

තමන් විසින් පොලී ලෙස ගෙවන ලද මුදල් ප්‍රතිපූර්ණය කිරීම.

ඉහත ඉල්ලීම් දෙක සිදු කළ නොහැකි නම් ආපදා ණය මුදලක් ලබා දීම.

මීට පෙර අවස්ථාවලදීද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැටුප් ගෙවීම් සඳහා අරමුදල් නොමැති වූ විට, මූල්‍ය ප්‍රගතියක් නොමැති වෙනත් වියදම් යටතේ තිබූ ප්‍රතිපාදන හුවමාරු කරගෙන ගෙවීම් සිදු කර ඇති බවද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
© all rights reserved
Designed by LCN Media