අමාත්‍යවරයා අවධාරණය කරන පරිදි, වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවේ ප්‍රමුඛතාව වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමයි.
මෙම ක්‍රියාකාරකම් සඳහා මෙතෙක් පැවති දේශපාලන සම්බන්ධතා සහ ආශිර්වාදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය කටයුතු කර ඇත. විශේෂයෙන්ම, දකුණේ දේශපාලඥයන් කිහිපදෙනෙකු මේ සඳහා සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගවලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මාතර සහ තංගල්ල ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී කුඩා ලොරියක තිබී ‘අයිස්’ කිලෝග්‍රෑම් 10ක් පමණ සොයාගෙන ඇත. එම ස්ථානයේම තිබී මළ සිරුරු දෙකක් ද හමු වී ඇති අතර, ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක වේ.
එම වැටලීමේදී විශාල ලොරි රථයක සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරෝයින් සහ ‘අයිස්’ කිලෝග්‍රෑම් 400ක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. එම ලොරිය තුළ තිබී රිවෝල්වර පහක් සහ ටී-56 වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන ඇත.
විදේශ රටවල සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 15 දෙනෙකු පමණ මේ වන විට එම රටවල බන්ධනාගාරගත කර ඇති අතර, ඔවුන් මෙරටට පිටුවහල් කිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පසුගිය දිනවල මෙරටට ගෙන ආ කෙහෙල්බද්ද පත්ම ඇතුළු පාතාල සාමාජිකයන්ගෙන් ද වැදගත් තොරතුරු රැසක් හෙළි වී තිබේ.
මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ජාවාරම් පිළිබඳ තොරතුරු හා මෙම ජාවාරම්වලට සම්බන්ධ යම් නිලධාරීන් සහ දේශපාලඥයන් පිළිබඳ තොරතුරු හෙළි වී ඇති අතර අවශ්‍ය විමර්ශන අවසන් වූ පසු නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන බවට අමාත්‍යවරයා සහතික විය.
මෙම විශාල වැටලීම් සහ තොරතුරු හෙළිවීම එකවර සිදු වීමට හේතු පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, පෙර පැවති දේශපාලන සංස්කෘතිය යටතේ පොලීසිය සහ බුද්ධි අංශ යම් දුරකට පරිහානියට ලක්ව තිබූ බවයි.
වත්මන් රජයේ ප්‍රධාන අරමුණ වූයේ පොලීසිය දේශපාලනීකරණයෙන් නිදහස් කර, ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. එසේම, බුද්ධි අංශ ශක්තිමත් කිරීම තුළින් නිවැරදි තොරතුරු ලැබෙමින් පවතින බවත් ඔහු පැවසුවේය.