Slider

රජයේ රෝහල්වල රසායනාගාර පරීක්‍ෂණ පුද්ගලික අංශයට…?



සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය චෝදනා කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් රජයේ රෝහල් මඟින් කෙරෙන රසායනාගාර පරීක්ෂණ විශාල ප්‍රමාණයක් පෞද්ගලික අංශයට පැවරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.ඔවුන් මෙම තත්ත්වය හෙළි කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ, මේ වනවිට කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණ රැසක් ඇනහිට ඇති බවයි. ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ 2024 සැප්තැම්බර් දක්වා අවශ්‍ය ප්‍රතිකාරක ඇණවුම් නිලධාරීන් විසින් මේ වනතුරු සිදු කර නොතිබීමයි.

මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන්ට සෘජුවම බලපා ඇති ඇනහිටීම් අතර, ජාතික රෝහලේ සම්පූර්ණ අක්මා පරීක්ෂණ යම් ප්‍රමාණයක් නතර කර තිබීම සහ හෘද රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වන ‘Troponin I’ පරීක්ෂාව තවදුරටත් සිදු නොවන තත්ත්වයට පත්ව තිබීම කැපී පෙනේ.

ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, රජයේ රෝහලකදී රුපියල් 2,000කට පමණ සිදු කරගත හැකි ‘Troponin I’ පරීක්ෂාව, මෙම ඇනහිටීම් නිසා දැන් රෝගීන්ට රුපියල් 7,400ක් වැනි අධික මුදලක් ගෙවා පෞද්ගලික රසායනාගාරවලින් කරවා ගැනීමට සිදුව ඇති බවයි.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය චෝදනා කරන්නේ, රජයේ සේවා පෞද්ගලීකරණය කිරීමට උත්සාහ දරන ඇතැම් නිලධාරීන් විසින් කෘත්‍රිමව මෙම ඇනහිටීම් නිර්මාණය කර ඇති බවයි.
© all rights reserved
Designed by LCN Media