උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතට පත්වීමේ සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ පුද්ගලයින් 19 දෙනකු කටයුතු කර තිබේ. මෙවර පත්වන දියවඩන නිලමේවරයාට විහාර දේවාලගම් ආඥා පනතට අනුව 2035 වසර දක්වා ධුරයේ කටයුතු කිරීමට ඉඩ ලැබේ.
මෙවර දියවඩන නිලමේ ධුරය සඳහා වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමග මහනුවර කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියකු වන ගාමිණි කළුහෙන්දිවල, පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන බදුල්ල සෝනුත්තර රජමහා විහාරස්ථානයේ හා සතර මහා දේවාල මහ නිලමේ රොෂාන් ප්‍රියදර්ශන හා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන නන්ද මඩුගල්ලේ යන මහත්වරුන් මේ වනවිට ඡන්දය සඳහා ඉදිරිපත් වන බවට නම් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම, පැරණි උඩරට රාජධානියට අයත්ව තිබූ බල ප්‍රදේශයේ පිහිටි රජමහා විහාරස්ථානවල පැවිදි හා ගිහි භාරකාරවරුන් 157 දෙනකු, එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 71 දෙනකු හා විහාර දේවාලගම් ආඥා පනතට යටතේ ගැසට් කර තිබෙන දේවාලවල බස්නායක නිලමේවරුන් 29 දෙනකු මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත්ව තිබූ දේවාල 31 ක් සඳහා මෙහිදී ඡන්ද හිමිකම ලැබෙන අතර දමින්ද බණ්ඩාර උඩුරාවණ හා ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක මහත්වරුන් දේවාල දෙකක බස්නායක නිලමේ ධුර හොබවන බැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙන්නේ එක් දේවාලයක් නියෝජනය කරමින් පමණි. මේ නිසා මෙවර බස්නායක නිලමේවරුන්ගේ ඡන්ද සංඛ්‍යාව 29 කට සීමාවී ඇත.
රැස්වීම් ශාලාවට ඇතුළු වීම සඳහා අවසර ලැබෙන්නේ අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කර තිබෙන පුද්ගලයින්ට හා ඡන්ද දායකයින්ට පමණි. ඡන්ද හිමිකමක් නොමැති අපේක්ෂකයකුගේ නම යෝජනා ස්ථිරත්වයෙන් සම්මත නොවුණහොත් ඔහුට රැස්වීම් ශාලාවේ රැඳී සිටීමට අවසර ලැබෙන්නේ නැත.
පෙර රජ දවස සිට පැවත එන දියවඩන නිලමේ ධුරය පෞරාණික බවත් ඉතිහාසය යළි කියවීම සංස්කෘතිය සමග බද්ධ කර ගනිමින් අනාගතය දක්වා ගෙන යන ඓතිහාසික බැම්මත් බවත් විශ්වාස කෙරේ.
