විදුලිබල අමාත්‍යාංගයේ කමිටුව මගින් 2024 වසරේදී ආයෝජනය කරන සුළං බලාගාර වලින් විදුලි ඒකකයක් මිලදිගත යුතු මුදල රුපියල් 29.80ක් ලෙස තීරණය කර ඇති අතර, 2025 වසර සඳහා එම කමිටුව තීරණය කර ඇත්තේ ඒකකයක් රුපියල් 23කට මිලදීගත යුතු බවටය.
සුළං බලාගාර වලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට රුපියල් 23 ක මුදලක් ගෙවිය යුතු බවට වන අමාත්‍යාංශයේ කමිටුව කර ඇති නිර්දේශය ඉකුත් මාර්තු මාසයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතත්, මුදල් අමාත්‍යාංශයේ කිහිප දෙනෙකු ඊට කකුලෙන් ඇදීම හේතුවෙන් මේ දක්වා එය අනුමත වී නොමැති බව ද පැවැසේ.
පැරැණි මිලටම නව ගිවිසුම් අත්සන් කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ ඉදිරිපත් නොකෙරෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙගාවොට් 10ක සුළං බලාගාර සඳහා ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය නොවන අතර. ඒ සඳහා විදුලි ඒකකයකට ගෙවිය යුතු මුදල කමිටුවක් මගින් නිර්දේශ කිරීම ක්‍රම වේදය වේ.
මේ අතර, මෙගාවොට් 10 බැගින් වන සුළං බලාගාර හයක් අලුතෙන් ස්ථාපිත කිරීමට සමාගම් 6ක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව ඇතත්, එහි සැබෑ අයිතිකරුවන් ප්‍රමාණය දෙදෙනකු හෝ තිදෙනකු වන බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
රංජන් කස්තුරි
lankadeepa