Slider

මර්වින්ට – ප්‍රසන්නට-සිංගප්පූරු සරත්ට ඇප නෑ – හයදෙනාම යළි ඇතුළට



කිරිබත්ගොඩ ඉඩම් නඩුව: විමර්ශන අවසන් නමුත් තවම පැමිණිල්ල ගොනුකර නැහැ
මෙය අසාමාන්‍ය කරුණක්
මර්වින්ගේ නීතිඥ උසාවියට කියයි

කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමකට රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් හයදෙනා අතුරින් හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන දෙදෙනාගේ ඇප අයදුම්පත් දෙක ප්‍රතික්ෂේප කළ මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් හයදෙනා ලබන ජුනි 09 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.

ඊයේ (26 දා) පස්වරුවේ මේ නඩුව නැවත කැඳවු අවස්ථාවේ දෙවන සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් තම සේවාදායකයාට ඇප ලබා ගැනීම සඳහා දෙවන වරටත් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත සම්බන්ධ නියෝගය ද ජුනි මස 09 වැනිදා ප්‍රකාශ කරන බව මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

මීට පෙර නඩු දින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන දෙදෙනාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන අමිල පල්ලියගුරු හා දේශාල් පෝල් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත් දෙක සම්බන්ධව නියෝගය ඊයේ ලබාදෙන බවට මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබූ අතර ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය ලබා දෙන ලදි.

මේ අනුව හිටපු ඇමැති මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, එහි හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා, හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හයදෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

මෙදින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔවුන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනිණි. උසාවි නියෝගය බන්ධනාගාරය මගින් ඔවුන්ට දන්වන බවද මහෙස්ත්‍රාත්වරිය කීවාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් ප්‍රියන්ත ඩෙන්සිල් මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසීය.

“මේ නඩුවට සොයමින් සිටි හයවන සැකකාර කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා ඉකුත් 20 වැනිදා අධිකරණයට භාරවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන එය නීතිපතිට යැවීමට තිබෙනවා. ඒ නිසා ඔහුගේ ප්‍රකාශයක් බන්ධනාගාරය තුළදී ලබාගැනීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටිනවා. මේ නඩුවට අදාළ සැකකරුවන් වරින් වර අත්අඩංගුවට ගැනීම සිදු වුණා. ඒ වගේම වරින් වර සැකකරුවන් අධිකරණයට භාර වුණා. ඒ හේතුවෙන් එම සැකකරුවන්ගේ ප්‍රකාශ වරින් වර ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වුණා.

දෙවන සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දිනම දුර්වල වෙමින් පවතින බවත් ඒ නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බලා කටයුතු කරන ලෙසට බන්ධනාගාර වෛද්‍යවරයාගේ අවධානය යොමු කරවන ලෙසත් ඉල්ලා සිටියේය.

සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කොට නොපමාව නෛතික පියවර ගැනීම සඳහා ඉදිරිපත් කරන්නට කියා නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණා. එම ප්‍රකාශ ලබාදීමෙන් පසුව සැකකරුවන් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නමුත් පොදු දේපළ පනතේ නඩුවක් අප්‍රමාදිව කාලය ඇදී යනවා නම් අධිකරණය ඇප ලබාදීම ගැන අවධානය යොමු කරන ලෙසට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව පොදු දේපළ පනතේ නඩු ප්‍රමාදයකින් තොරව කළ යුතුයි. මෙහි විමර්ශන අවසන්. නමුත් තවම පැමිණිල්ල ගොනුකර නැහැ. මෙය ද අසාමාන්‍ය කරුණක් ලෙස සලකා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසට ඉල්ලමින් නැවත ඇප අයදුම්පතක් ඉදිරිපත් කරනවා.

පස්වන සැකකාර හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල පල්ලියගුරු මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කළේය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සාක්කි සම්පීඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහි ඉදිරිපත් කර තිබෙන සාක්කි මත තම සේවාදායකයා කඩ හිමියකුගෙන් රුපියල් හතළිස් දහසක මුදලක් ඉල්ලා තිබෙන බවට සඳහන් වී නැහැ. නමුත් පසුව ඉදිරිපත් කර තිබෙන සාක්කි සම්පීඩන වාර්තාවක ඒ බව සඳහන් කර තිබෙනවා. මේ ආකාරයට වරින් වර සාක්කි සම්පීඩන වාර්තා ඉදිරිපත් කරනවා. ඒවා පරස්පරයි. මේ නඩුවේ උද්ධෘත නීතිපතිට යවා තිබෙන්නේ ඉකුත් 2018 වසරේදියි. එහි විමර්ශන අවසන් කරලා. විමර්ශන අවසන් කිරීමෙන් පසුවත් සාක්කි සම්පීඩන වාර්තා ඉදිරිපත් කරනවා. මේ නඩුව සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටිනවා.

එහිදි දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරිය හතරවන හා පස්වන සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම සඳහා අසාමාන්‍ය සුවිශේෂී කරුණු ඉදිරිපත් වි නැති හෙයින් ඔවුනට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන බවද ඉකුත්දා අධිකරණයට භාරවූ හයවන සැකකරුගේ ප්‍රකාශයක් බන්ධනාගාරය තුළදී ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවස්ථාව ලබාදෙන ලෙසට බන්ධනාගාර අධිකාරිට නියෝග කරන බවද දෙවන සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව බන්ධනාගාර වෛද්‍යවරයාගේ අවධානය යොමු කරවන බවද සැකකරුවන්ගේ ප්‍රකාශ හැකි ඉක්මනින් නීතිපතිට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන බවද සඳහන් කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් වන ප්‍රියන්ත ඩෙන්සිල් හා සමරසිංහ යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවු අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥවරුන් වන අමිල පල්ලියගුරු, දේශාල් පෝල් හා විරේන්දා කනංකෙගේ යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති
© all rights reserved
Designed by LCN Media