Slider

මෙවර දළදා පෙරහැරට අලිඇතුන් විශාල අඩුවක්..



මහනුවර ඇසළ පෙරහැරට අදාළ කටයුතු මේ දිනවල ශ්‍රී දළදා මාලිගාව සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව සිදුවෙමින් පවතී.

කෙසේ වෙතත්, පෙරහැර සංවිධානයට බලපාන ප්‍රධාන අභියෝගයක් ලෙස දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙන්වා දෙන්නේ පෙරහැර සඳහා අවශ්‍ය අලි ඇතුන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් පැවතීමයි.

මීට වසර කිහිපයකට පෙර මෙරට සිටි හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 200ක් පමණ වූ අතර, එය මේ වන විට 96ක් දක්වා පහත වැටී ඇති බව දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

මෙයින් පෙරහැර සඳහා යොදාගත හැකි අලි ඇතුන් සංඛ්‍යාව 50ක් පමණ වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. කන්ද උඩරට ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වීම සඳහා අලි ඇතුන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වන බැවින්, මෙම තත්ත්වය සංවිධායකයන්ට මහත් ගැටලුවක් වී තිබේ.

මෙවර ඇසළ පෙරහැර ජූලි මස 25 වන දින කප් සිටුවීමේ චාරිත්‍රයෙන් ආරම්භ වීමට නියමිත අතර, එදින උදෑසන 6.05ට යෙදෙන සුබ මොහොතින් මෙම චාරිත්‍රය සිදු කෙරේ. දින පහක දේවාල පෙරහැරකින් අනතුරුව පළමු කුඹල් පෙරහැර ජූලි මස 30 වන දින වීථි සංචාරය කිරීමට නියමිතය.

පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 04 වන දින ආරම්භ වන අතර, අවසාන මහ රන්දෝලි පෙරහැර අගෝස්තු මස 08 වන දිනට යෙදී ඇති නිකිණි පුන් පොහෝ දින රාත්‍රියේ පැවැත්වේ.

අගෝස්තු 09 වන දින උදෑසන දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙන අතර, එදිනම දහවල් පෙරහැරද ශ්‍රී දළදා මාලිගාව වටා තෙවරක් පැදීමෙන් මෙවර ඇසළ පෙරහැර නිල වශයෙන් අවසන් වේ.

අලි ඇතුන්ගේ මෙම අඩුව මධ්‍යයේ වුවද, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේ මෙවර කන්ද උඩරට ඇසළ පෙරහැර සාර්ථකව සංවිධානය කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවයි.
© all rights reserved
Designed by LCN Media