Slider

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා මොරටුවේ වීරයා



“මං දුවගේ ගවුමක් අරන් රේල්පාර පැත්තට දුවලා ගිහින් වනලා කෝච්චිය නතර කළා. ඊට පස්සේ දුම්රිය රියැදුරු මහත්තයාට පීල්ලක් කැඩිලා කියලා කිව්වා. ජීවිත ගාණක් බේරගන්න ලැබුණු එක ගැන මට සතුටුයි. කෝච්චිය ගියා නම් අද ජීවිත ගාණක් නැති වෙන්න තිබුණා.”

සිය ජීවිත අවදානම ගැන ද නොසිතා ඊයේ (05දා) බිහිසුණු දුම්රිය අනතුරක් වළක්වා ගත් මොරටුව, මෝදර සමන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ එසේ පැවැසීය.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීල්ලක් කැඩීගොස් තිබුණේ මොරටුව, මෝදර ප්‍රදේශයේදී ය.

සමන්ත දුම්රිය මාර්ගයේ රැඳීසිටියදි කොළඹ දෙසට වන්නට තිබූ මාර්ගයේ දුම්රිය පීල්ලක් කැඩී ගොස් තිබෙනු දැක ඇත. ඒ අවස්ථාවේ ඈතින් ඉදිරියට දුම්රියක් එනු දුටු සමන්ත ඒ ආසන්නයේ වූ නිවසට ගොස් සිය දියණියගේ ගවුමක් රැගෙනවිත් එම දුම්රිය පීල්ලටවිත් ඔහු අතින් ගවුම වනමින් දුම්රිය නවත්වා තිබේ.

සිය අත්දැකීම ගැන තවදුරටත් විස්තර කළ සමන්ත ප්‍රනාන්දු මෙසේ ද කීය.

මම ගේ ළඟ ඉන්නකොට දුම්රිය පීල්ලක් කැඩිලා තියෙනවා දැක්කා. ඊට පස්සේ කෝච්චියක් හෝන් ගහගෙන එනවා දැක්කා. මම ටක් ගාලා ගෙදරට දුවලා ගිහින් දුවගේ ගවුමක් අරන් රේල්පාර මැද්දට ගිහින් වැනුවා කෝච්චියට. ඊට පස්සේ කෝච්චිය නතර කළා. කෝච්චිය සාගරිකා දුම්රිය. ඔෆිස් ටයිම් නිසා සෙනඟත් හිටියා. කෝච්චියේ රියැදුරු මහත්තයාට කිව්වා මහත්තයා රේල්පාරේ පීල්ලක් කැඩිලා තියෙනවා බලන්න කියලා. ඊට පස්සේ එතුමා ඇවිත් බලලා දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඊට පස්සේ දුම්රිය සේවකයන් ඇවිත් දුම්රිය පීල්ල සකස් කරන්න හැදුවා. මට අද හරි සතුටුයි. වෙන්න ගිය මහා විනාශයක් වළක්වා ජීවිත දහසක් බේරා දෙන්න හැකි වුණා. හදිසියෙවත් මේක කව්රුවත් දැක්කෙ නැත්නම් අද මාධ්‍යවලින් වෙන දෙයක් තමයි ප්‍රචාරය වෙන්න තිබුණේ.”

පසුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පානදුර සිට මොරටුව දක්වා වසා දමා පැය 2ක් ඇතුළත දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට දුම්රිය සේවකයෝ පියවර ගත්හ.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු ඊයේ පස්වරුව වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

දුම්රිය මගී ජීවිත රැසක් බේරා දීමට සමත්වූ මොරටු මෝදර වීරයා වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් කුමක්ද සිදුවන්නේ කියා දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ මහතාගෙන් විමසූ විට කියා සිටියේ මේ පිළිබඳව සොයා ඔහු වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුළදී ප්‍රශංසනාත්මක ඇගැයීමකට ලක් කරන බවය.

දුම්රිය මගී ජීවිත බේරාගත් ඔහුව දුම්රිය දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
© all rights reserved
Designed by LCN Media