Slider

කාන්තාව පැදවූ වෑන් රිය ප්‍රපාතයට - මීමුරේ අනතුරින් 4 ක් මරුට



හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ, හබරකැටිය නම් දුෂ්කර ප්‍රදේශයේදී පෙරේදා (19) පස්වරුවේ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ මාරක රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. විනෝද චාරිකාවක් සඳහා මීමුරේ බලා ගමන් කරමින් සිටි මීරිගම ප්‍රදේශයේ පිරිසක් මෙම ඛේදවාචකයට මුහුණ දී ඇත.

අනතුර සිදුව ඇත්තේ උඩුදුම්බර පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 25ක් පමණ ඈතින් පිහිටි, අධික බෑවුම් සහ තියුණු වංගු සහිත පටු මාර්ගයකදීය. අනතුර සිදුවන අවස්ථාවේ කාන්තාවක් විසින් පදවන ලද බව කියන වෑන් රථයේ පාලනය ගිලිහී ගොස්,

මාර්ගයේ ඉහළ වංගුවකින් අඩි 20ත් 30ත් අතර ප්‍රපාතයකට පෙරළී පහළින් පිහිටි මාර්ගය මතට පතිත වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම අවස්ථාවේ ප්‍රදේශයට අධික මීදුම් සහිත වර්ෂාපතනයක් පැවති බවද වාර්තා වේ.

මෙම දරුණු අනතුරින් වත්තල, හැඳල, වැලිඅමුණ පාරේ පදිංචිව සිටි එන්.ජී. ඉරන්ත (33) සහ ඔහුගේ බිරිඳ වන පී. මල්කි සුපුන්දිකා ප්‍රනාන්දු (30) යන අඹුසැමි යුවළ ජීවිතක්ෂයට පත්ව ඇත. ඔවුන්ගේ සිව් හැවිරිදි එකම දරුවා අනතුරින් දිවි ගලවාගෙන ඇති අතර, බරපතල තුවාල සහිතව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. මීට අමතරව කඩවත, වෑබඩ පදිංචි ඉසුරින්දි ශෂිකලා පෙරේරා (29) සහ මීරිගම, කොස්ඇටදෙණිය, ග්‍රීන්හාවස්ට්හි පදිංචි මල්කි අප්සරා ඉලුප්පතආරච්චි (29) යන කාන්තාවන් දෙදෙනාද මියගිය පිරිස අතර වෙති.

විදේශගතව සිට පැමිණි මිතුරන් කිහිප දෙනෙකුගේ ඉල්ලීමක් මත මෙම පිරිස මීමුරේ සංචාරය සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී තිබේ. අනතුරින් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් තෙල්දෙණිය සහ මහනුවර රෝහල් වෙත ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන් වේ.
© all rights reserved
Designed by LCN Media