Slider

භික්ෂූන් හා ලිංගික ඇසුරු පවත්වා වීඩියෝ කර මුදල් ගත් කාන්තාව



භික්ෂූන් වහන්සේලා සමග ලිංගික සබඳතා පවත්වා ඒවා ඡායාරූපගත කර සහ රූගත කර, පසුව ඔවුන්ගෙන් කප්පම් ලබා ගත් බව කියන කාන්තාවක් තායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිසිය “මිස් ගොල්ෆ්” ලෙස හඳුන්වන මෙම කාන්තාව අවම වශයෙන් භික්ෂූන් වහන්සේලා නව දෙනෙකු සමග ලිංගිකව හැසිරී ඇති බව අඟහරුවාදා (ජූනි 15) පැවති මාධ්‍ය හමුවකදී පොලිසිය පැවසීය. පසුගිය වසර තුන තුළ ඇය බාට් මිලියන 385ක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 11.9ක් පමණ එලෙස උපයා ඇතැයි ඔවුහු විශ්වාස කරති.

ඇයගේ නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් භික්ෂූන් වහන්සේලාට තර්ජනය කිරීමට යොදාගත් ඡායාරූප සහ වීඩියෝ 80,000කට අධික ගණනක් සොයාගෙන ඇතැයි තායිලන්ත පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම අපකීර්තිමත් සිදුවීම තායිලන්තයේ අතිශයින් ගෞරවයට පාත්‍ර වන සංඝ සමාජය කැළඹීමට ලක් කර ඇති අතර, පසුගිය වසර කිහිපය තුළ භික්ෂූන් වහන්සේලා ලිංගික අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන බවට ද චෝදනා එල්ල වී තිබේ.

බැංකොක්හි විහාරාධිපති භික්ෂුවක් කාන්තාවක විසින් කප්පම් ගනු ලැබීමේ සිද්ධියකින් පසු උපැවිදි වී තිබුණු අතර, ජූනි මස මැද භාගයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් මුල් වරට තම අවධානයට ලක්වූ බව පොලිසිය පැවසීය.

2024 මැයි මාසයේදී ‘මිස් ගොල්ෆ්’ යනුවෙන් හඳුන්වන මෙම කාන්තාව අදාළ භික්ෂුව සමග “සම්බන්ධතාවක්” පවත්වා ඇති බව පොලිසිය පැවසීය. පසුව ඇය උන්වහන්සේ නිසා දරුවෙකු බිහි කළ බව පවසමින් බාට් මිලියන හතකට වඩා වැඩි මුදලක් නඩත්තු මුදල් ලෙස ඉල්ලා ඇතැයි ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

පසුව බලධාරීන් සොයා ගත්තේ, අනෙකුත් භික්ෂූන් වහන්සේලා ද ‘මිස් ගොල්ෆ්’ වෙත මුදල් ලබා දී තිබූ බව ය. පොලිසිය පැවසුවේ, එය ඇයට අවේණික වූ විශේෂිත ක්‍රමයක්” බව ය.

මුදල් සියල්ල ම ගිණුමෙන් ලබාගෙන ඇති බවත්, ඉන් කොටසක් ඉන්ටර්නෙට් ඔස්සේ සූදු ක්‍රීඩා සඳහා වැය කර ඇති බවත් පොලිසිය සොයාගෙන තිබේ.

මේ මස මුලදී විමර්ශක නිලධාරීන් මිස් ගොල්ෆ්ගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ ඇයගේ දුරකතනය සිය භාරයට ගත් අතර භික්ෂූන් වහන්සේලා බ්ලැක්මේල් කිරීමට ඇය භාවිත කළ ඡායාරූප සහ වීඩියෝ 80,000කට වැඩි ගණනක් ද සොයා ගැනිණි.

කප්පම් ගැනීම, මුදල් විශුද්ධිකරණය සහ සොරකම් කළ භාණ්ඩ සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා රැසක් ඇයට එල්ල වී ඇත.

“වැරදි ලෙස හැසිරෙන භික්ෂූන් වහන්සේලා” පිළිබඳව පැමිණිලි කිරීම සඳහා පොලිසිය ජනතාවට දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ.

මෙම අපකීර්තිමත් සිදුවීම හේතුවෙන් තායිලන්තයේ බුදු දහම සම්බන්ධ පාලක මණ්ඩලය වන උත්තරීතර සංඝ මණ්ඩලය, විහාරස්ථාන සඳහා වන රෙගුලාසි සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවන බව පැවසී ය.

විනය නීති උල්ලංඝණය කරන භික්ෂූන් වහන්සේලාට දඩ මුදල් සහ සිර දඬුවම් ඇතුළු දැඩි දඬුවම් පැනවීමට ද රජය උත්සහ කරමින් සිටී.

මේ සතියේ, තායිලන්තයේ වජිරලොන්කෝන් රජු, භික්ෂූන් වහන්සේලා 81 දෙනෙකුට උසස් පදවි ප්‍රදානය කරමින් ජූනි මාසයේදී නිකුත් කළ රාජකීය ආඥාවක් අවලංගු කළේ ය. “බෞද්ධයන්ගේ කම්පාවට හේතු වී ඇති” බව ඔහු පැවසූ, මෑත කාලීන විෂමාචාර සිද්ධීන් ඔහු ඒ සඳහා හේතු ලෙස ඔහු සඳහන් කළේ ය.

ජනගහනයෙන් 90%කට වැඩි පිරිසක් බෞද්ධයන් සිටින තායිලන්තයේ, භික්ෂූන් වහන්සේලා ඉතා ගෞරවයට පාත්‍ර වෙති. බොහෝ තායි පිරිමි ද අධ්‍යාත්මික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තාවකාලික පැවිද්ද තෝරා ගනිති.

නමුත් ගත වුණු කාලය තුළ සංඝ සමාජය අපකීර්තිමත් සිදුවීම් හේතුවෙන් අවමානයට පාත්‍ර විය.

සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කළ බවට ප්‍රසිද්ධ, නිතර ගුවන් ගමන්වල යෙදුණු වීරපෝල් සුක්පෝල්, 2017දී ලිංගික අපරාධ, වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. තව ද 2022දී, එරට උතුරු ප්‍රදේශයේ පෙට්චබූන්හි පිහිටි විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා සිව් නමක් මත්ද්‍රව්‍ය වැටලීමකදී අත්අඩංගුවට ගෙන සංඝභාවයෙන් නෙරපා හැරීමෙන් පසු, විහාරස්ථානයේ කිසිදු භික්ෂුවක් ඉතිරි නොවී ය.

තායි සංඝ සමාජය තුළ විනය හා වගවීම සම්බන්ධයෙන් ඇති ගැටලු පිළිබඳව වසර ගණනාවක් තිස්සේ විවේචන එල්ල වුව ද, සියවස් ගණනාවක් එහි සැබෑ වෙනසක් සිදුවී නොමැති බව බොහෝ දෙනෙක් පවසති. ගැටලුවේ විශාල කොටසක් ඇත්තේ දැඩි ධූරාවලියේ යැයි විශේෂඥයෝ පවසති.

“ඒක තායි නිලධාරිවාදයට සමාන ඒකාධිපති ක්‍රමයක්, ඒකෙදි ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා ඉහළ නිලධාරීන් හා සමාන වන අතර කනිෂ්ඨ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ යටත් නිලධාරීන් වෙනවා,” ආගම සම්බන්ධ විශාරදයෙකු වන සූරාෆොට් තවීසක් තායි පැවසීය. “නුසුදුසු දෙයක් දැක්කත්, ඔවුන් ඒ ගැන කතා කිරීමට එඩිතර වෙන්නේ නැහැ, මොක ද එහෙම උණොත් පන්සලෙන් පන්නලා දාන නිසා.”

පොලිසිය සහ සංඝ සභාව යන දෙඅංශයෙන් ම සිදුවෙමින් පවතින පරීක්ෂණ, අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන පියවරක් ලෙස ඇතැමෙක් දකිති.

“වැදගත් දේ තමයි සංඝයාගේ නිර්දෝෂීභාවය පිළිබඳ මහ ජනතාවට ඇති සැකයන් දුරු කර ගත හැකි වන පරිදි සත්‍යය හෙළිදරව් කිරීම,” බැංකොක් තමසාට් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා විශාරද ප්‍රාකිරාති සතාසුත් පැවසීය.

“ඒක රඳා පවතින්නේ උත්තරීතර සංඝ මණ්ඩලය සංඝ සමාජය බේරා ගැනීම සඳහා දැඩි තීන්දු තීරණ ගනීවි ද කියන එක මත යි.”

– BBC
© all rights reserved
Designed by LCN Media