Slider

අපේ වත්කම් අවුල් නං පොලිසි යන්න..- ලාල් කාන්ත



ජාතික ජන බලවේගයේද මැති ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් නීතිය සැමට එකලෙසම ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර සිටියි.

මාධ්‍යවේදියෙකු විසින් මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අමාත්‍ය ලාල් කාන්ත මහතා සඳහන් කළේ, වත්කම් සහ බැරකම් නීත්‍යානුකූලව භාර දෙන බවත්, ඒවායේ කිසියම් වැරදි තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතියට හැකියාව ඇති බවත්ය.

“කාටත් නීතිය එකයිනේ. ජාතික ජනබල වේගය ඇමති කෙනෙක් වුණත්, ජාතික ජනබල වේගය මන්ත්‍රීවරු වුණත් පාර්ලිමේන්තුවේ නොවුණත්, ප්‍රාදේශ සභා වල, නගර සභා වල වුනත් කාටත් නීතිය එකයි මටත් එකයි කාටත් එකයි,” යනුවෙන් ඔහු පැහැදිලි කළේය. ඒ අනුව රටේ කටයුතු සිද්ධ වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජාතික ජන බලවේගයට විශේෂ වරප්‍රසාද ලබා ගැනීමට කිසිවක් නොමැති බවයි.

යම්කිසි නිශ්චිත චෝදනාවක් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් කාට හෝ තිබේ නම්, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිමය ආයතන බැඳී සිටින බවත්, එම නීතිමය ආයතන ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවත්, ඊට කිසිදු බාධාවක් නොමැති බවත් අමාත්‍යවරයා තහවුරු කළේය.
© all rights reserved
Designed by LCN Media