එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.
එහිදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ, “අපිට යන්න කිව්වා, අපි යනවා” යනුවෙනි.
ඔහු ප්‍රකාශ කළේ, දේශපාලන කටයුතුවල ඉදිරියටත් නිරත වන බව ය.ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයෙන් සම්මත වීමත් සමග රජයේ නිල නිවාස භාවිත කරමින් සිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එම නිවෙස්වලින් ඉවත් වීමට සිදුව තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේ, නිවස යළි රජය වෙත භාර දීම සඳහා සතියක පමණ කාලයක් ගත වනු ඇති බව ය.
“අපි නිවස භාර දෙන්නේ සතියකින්. අර ඉන්ට්වෙන්ට්‍රි ටික ඔක්කොම සම්පූර්ණ කරලා. සර් අද තංගල්ලට යනවා නිල නිවසින් ඉවත්වෙලා,” මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස පැවසීය.
“මං හිතන්නේ හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා. හෙටින් පස්සේ ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් අඩු කරලා විදුලි බිල අඩු කරයි, පෙට්‍රල් මිල අඩු කරයි, පොල් ගෙඩියේ මිල අඩු කරයි, හාල් මිල අඩු කරයි… සියලු ම රටේ ප්‍රශ්න මම හිතන්නේ අදින් පස්සේ විසඳෙයි. ඡන්ද පොරොන්දුව මේ රටේ ජනතාවට නෙවෙයි එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කළා අද දවසේ.”
මේ අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය ද කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් වී හොරගොල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත යන බව හිටපු ජනාධිපතිවරියගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
– BBC
