Slider

ඇමති නිල නිවාස කිසිවෙකු අරන් නෑ.. දිනෙන් දින අබලන් වෙමින්..



ඇමති නිල නිවාස වසා දමා වසරකට ආසන්න කාලයක් ගතවී තිබුණද, ඒවායේ ඉදිරි භාවිතය පිළිබඳව රජය මෙතෙක් නිශ්චිත තීරණයකට එළැඹ නැතැයි වාර්තා වේ.

තවමත් තීරණයක් නොගැනීම නිසා මෙම නිල නිවාස දිනෙන් දින අබලන් වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි. කොළඹ නගරයේ පමණක් පිහිටි ඇමති බංගලා සංඛ්‍යාව පනස් පහක් (55ක්) බව දැනගන්නට ලැබේ.

ඇමති බංගලාවලට අමතරව පසුගිය කාලයේ භාවිතය නවතා දැමූ තවත් ගොඩනැගිලි කිහිපයක් සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලය ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ. එම ගොඩනැගිලි මීට පෙර රජයේ නිලධාරීන් විසින් භාවිතයට ගෙන ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ ඇමති නිල නිවාස පිළිබඳව කැබිනට් මණ්ඩලය ඉතා ඉක්මනින්ම තීරණයකට එළැඹෙනු ඇති බවයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ සියලුම ගොඩනැගිලි සම්බන්ධ වාර්තා කැබිනට් මණ්ඩලය වෙත දැනටමත් භාර දී අවසන් බවය.

එමෙන්ම, ඇමති බංගලා යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතුවලට ලක් වෙමින් පවතින බවද අමාත්‍යවරයා අප සමඟ පැවසීය.

මේ අතර, වසා දමා ඇති මෙම නිල නිවාස ලබා ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පනහකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් කර ඇතැයි ද වාර්තා වේ.
© all rights reserved
Designed by LCN Media