Slider

වහ වහා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කරන්නයි ලෝක බැංකුව කියයි..



ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින් හමුවී සාකච්ඡාවක් පැවැත්වූහ.

අනතුරුව කණ්ඩායම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක යන මහත්වරු සහ අදාළ කාරක සභා සාමාජිකයින් අතර ඒකාබද්ධ රැස්වීමකට ද සහභාගි වූහ.මෙහිදී කාරක සභා සභාපතිවරු වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ලෝක බැංකුවට සිය කෘතඥතාව පළ කළහ.

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කඩිනම් සිදු කිරීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නිලධාරීන් සඳහන් කළ අතර, ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ බලශක්ති පිරිවැයකට මුහුණ දෙන බවත් පෙන්වා දුන්හ. එසේම වරාය සහ සැපයුම් අංශයේ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව නිසි පරිදි පවත්වා ගනිමින් සමස්ත ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද ලෝක බැංකු නියෝජිත පිරිස අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාව කලාපීය රටවලට සාපේක්ෂව රාජ්‍ය සේවයේ අඩු වැටුප් මට්ටම් සහ විශාලතම ශ්‍රම බලකායක් පවත්වාගෙන යන රටක් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

කාරක සභා සාමාජිකයින් ඔවුන්ගේ කාරක සභාවල බලතල සහ අධීක්ෂණ කාර්යයන් පිළිබඳව ලෝක බැංකු නිලධාරීන්ට කරුණු පැහැදිළි කළහ. ආදායම් එකතු කිරීම හා වැඩිදියුණු කිරීම, රැකියා අවස්ථා නිර්මාණය, දරිද්‍රතාවය තුරන් කිරීම, ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය වැඩි දියුණු කිරීම මෙන්ම සංචාරක, අධ්‍යාපනික, කෘෂිකාර්මික සහ ව්‍යවසායකත්ව වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ සහ වර්ධනය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

පෞද්ගලීකරණයට විකල්පයක් ලෙස කාර්යක්ෂමව ක්‍රියාත්මක වන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPPs) ස්ථාපිත කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර නිදසුන් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡා මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක බැංකුව යන ආයතන ද්විත්වයේම සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම තිරසාර ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ඇති කැපවීම අවධාරණය කෙරිණි.


ලෝක බැංකු සමූහයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී ස්ටෙෆාන් මැසින්ග්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරී වික්ටර් ඇන්තනිපිල්ලෙයි, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා යන මහත්වරු ද මෙම රැස්වීම්වලට සහභාගී වූහ.
© all rights reserved
Designed by LCN Media