Slider

අයිස් ගෙනා ‘පුවක් දණ්ඩාවෙ සනා’ ජවිපෙ බල කණුවක්.. ජනාධිපති ඡන්ද රැස්වීම්වලදී කෑවෙ ඔහුගේ ගෙදරින්…



හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ හෙවත් “පුවක් දණ්ඩාවේ සනා” ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රබල හිතවතෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මොහු තම බෝට්ටු භාවිත කරමින් මත්ද්‍රව්‍ය තොග පිටින් රටට ගෙනැවිත් ඇති බවට පැහැදිලිවම අනාවරණය වී ඇතැයිද අද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු පැවසීය.

සනත් වීරසිංහ යනු ජනතා විමුක්ති පෙරමුණේ ඉතාම හිතවත් පුද්ගලයෙක් වන අතර, සෑම අතින්ම පෙරමුණට සහයෝගය දක්වන, මුදල් අතින් වියදම් කරන පුද්ගලයෙක් බවත් ජවිපෙ නායකයා එම ප්‍රදේශයේ රැස්වීම්වලට පැමිණි විට දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය සම්පාදනය කර අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නේ මොහු බව වීරවංශ මහතා සඳහන් කරයි. මෙම ආහාර සම්පාදනයට උමේශ් නමැති ඔහුගේ මිත්‍රයෙක්ද සහය වන බව ඔහු පැවසීය.

ඔහුට ඩුබායි හි සිටින කුප්‍රකට පාතාල සාමාජිකයෙකු වන උණාකූරුවේ ශාන්ත නමැති පුද්ගලයා විසින් මුදල් පොම්ප කර ඇති අතර, ඔහුගේ ගිණුම්වල විශාල මුදලක් එක්රැස් වී ඇති බවත් එම මුදල් නිසා ඔහු පසුගිය කාලය පුරා අතපය දිග හැර ජවිපෙ වෙනුවෙන් වියදම් කළ බවට වීරවංශ මහතා චෝදනා එල්ල කලේය.

සනත් වීරසිංහ මීට පෙරද අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නමුත්, ජනතා විමුක්ති පෙරමුණේ විවිධ කල්ලිවල බලපෑම් මත පොලිසිය ඔහුව නිදහස් කර ඇති නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විශාල පීඩනය හේතුවෙන් මොහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිද්ධ වූ බව වීරවංශ මහතා පෙන්වා දෙයි.

මීට පෙර “ක්ලබ් වසන්ත” නමැති පුද්ගලයා ඝාතනය කිරීමට යොදා ගත් වෑන් රථය සම්පාදනය කළ පුද්ගලයා ද මොහු බවට අනාවරණය වී ඇතැයිද හෙතෙම පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අවසන් මත්ද්‍රව්‍ය තොගය ඔහුගේ බෝට්ටු මගින් රටට ගෙනවිත් තිබෙන මත්ද්‍රව්‍ය බව හෙළි වී ඇතැයිද ඔහු පෙන්වා දේ.

වීරවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු නාවික හමුදාව යොදවමින් මුහුදේ පරීක්ෂා කිරීම බොහෝ දුරට අඩාල කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සනත් වීරසිංහ වැනි අය තම බෝට්ටු මගින් තොග පිටින් මත්ද්‍රව්‍ය රටට ගෙනැවිත් ඇති බවයි.

මීට අමතරව, රතු ලයිස්තුවට ලේබල්ගත කළ කන්ටේනර් ඇතුළුව, කන්ටේනර් 323ක් පරීක්ෂා කර බැලීමකින් තොරව නිදහස් කිරීම හරහාද මේ මත්ද්‍රව්‍ය තොග පිටින් රට ඇතුළට පැමිණි බවටත් චෝදනා කරයි.

ඔහු අවධාරණය කරන්නේ, “කුඩු ගේන්නෙත් රාජ්‍යානුග්‍රහයෙන් කුඩු අල්ලන්නෙත් රාජ්‍යානුග්‍රහයෙන්” යන පිළිකුල් සහගත තත්ත්වයක් අද දකින්නට ලැබෙන බවයි.

විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ පම්පෝරි ගැසීම නවතා තමන්ගේ පාලන කාලය තුළ රට ඇතුළට කඩා වැදුණු මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා අවංක පියවර ගන්නා ලෙසයි. පොලීසියේ භාර ඇමතිවරයා දේශපාලන ප්‍රයෝජන ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාගේ භූමිකාව ඉටු කරන තත්ත්වයට නොවැටී බරපතල ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි
© all rights reserved
Designed by LCN Media