Slider

රනිල් වැඩ කරන්නේ IMF හා ලෝක බැංකු වුවමනාවටයි...



පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කරන ක්‍රියාමාර්ග දැඩි විවේචනයට ලක් කරමින් ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ සහ කම්කරු සභාවේ නියෝජිතයින් හැටන් නගරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.​මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා එහි ජාතික සංවිධායක මිලන් පෙරේරා මහතා සහ නොර්වූඩ් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නෝයෙල් ජනස්ටර් මහතා ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වූහ.

​මාධ්‍ය හමුවේදී අවධාරණය වූ කරුණු චමිර පෙරේරා මහතා සහ ක්‍රියාකාරිකයන් අදහස් දක්වමින් මෙසේ කීය ,

​මීට මාස කිහිපයකට පෙර තමන් දැඩි සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා, එළඹෙන ජනවාරි මාසය වන විට රට බරපතල ආර්ථික අගාධයකට වැටෙන බව පවසමින් ජනතාව භීතියට පත් කරන බවත්, මෙය බලය ලබා ගැනීම සඳහා සිදු කරන "ජනතාව නොමග යැවීමක්" බවත් සභාපති චමීර පෙරේරා මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

​රනිල් වික්‍රමසිංහ මහතා සැමවිටම කටයුතු කරන්නේ මෙරට ජනතාව වෙනුවෙන් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක මූල්‍ය සමාගම්වල වුවමනා එපාකම් පිරිමැසීමට බවත්, ඒ හරහා මෙරට ජනතාවගේ ශ්‍රමය සහ සම්පත් සූරාකෑමට ඉඩ හරින බවත් ජාතික සංවිධායක මිලන් පෙරේරා මහතා අවධාරණය කළේය.

​රටේ පවතින ස්වභාවික සහ ආර්ථික ව්‍යසනයන් පවා තම දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරන බවට වික්‍රමසිංහ මහතාට චෝදනා කළ නෝයෙල් ජනස්ටර් මහතා, ඔහු කිසිදාක ජනතාවගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කර නොමැති බව පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ලොව පිළිගත් ආර්ථික විද්‍යාඥයින් 120 දෙනෙකු සිය අවධානය යොමු කර ඇති පසුබිමක, රජය විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව වෘත්තීය සමිති නායකයෝ සිය දැඩි කනස්සල්ල පළ කළහ.

ආර්.එෆ්.එම්.සුහෙල්
© all rights reserved
Designed by LCN Media