Slider

මං ජනාධිපතිට බනිනවා.. පුළුවන්නං මාව අත්අඩංගුවට ගන්න..




පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

හදිසි නීතිය අතට අරන් ජනාධිපතිතුමාට බනින අයව වහාම අත්අඩංගුවට ගන්න කියා මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මැතිතුමා පොලිසියට උපදෙස් දෙනවා අපි දැක්කා. මේ දවස්වල ජනාධිපතිතුමාට බනින අයව අත්අඩංගුවට ගන්න ගියොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා. එහෙම කලොත් ඒ අයව රඳවා ගන්න පාසල් වහලා සෑම පාසලක්ම බන්ධනාගාරයක් බවට පත් කරන්න වෙනවා. මොකද දැන් ලංකාවේ ජනගහනයෙන් 80%කට වැඩි පිරිසක් ජනාධිපතිට බනිනවා. බනින්නේ නැත්තේ තවමත් පච වලට රැවටිලා ඉන්න ලෝකය ගැන දැනුමක් නැති සුළු පිරිසක් විතරයි. ඉතින් එච්චර දැවැන්ත පිරිසක් අත්අඩංගුවට ගන්න ගියොත් ආණ්ඩුව ලෝක අමාරුවක වැටෙනවා.වටවල ඇමතිතුමාගේ නියෝගය කිහිප ආකාරයකින් නීති විරෝධියි. මුලින්ම මහජන ආරක්ෂක ඇමතිතුමා තමන්ගේ බලතල ගැසට් පත්‍රයක ප්‍රසිද්ධ කරන ප්‍රකාශනයක් මගින් නියෝජ්‍ය ඇමතිට පවරලා නෑ. කෙටියෙන්ම කිව්වොත් වටවල ඇමතිතුමා කිසිම බලයක් නැති නිකන්ම නිකන් නමට නියෝජ්‍ය ඇමති කෙනෙක් විතරයි. ඒ නිසා එතුමාට පොලිසියට නියෝග දෙන්න කිසිම බලයක් නෑ.

දෙවනුව, ආපදා තත්වය වලක්වා ගන්න කටයුතු නොකිරීම පිළිබඳ ජනතාව ජනාධිපතිට බනින්නේ සත්‍ය කරුණු මත පදනම් වෙලා. පුද්ගලයෙකුට අපහාසයක් වෙන්නේ යම් පුද්ගලයෙකු පිළිබඳ බොරු කිව්වොත් විතරයි. ඇත්තක් කීම අපහාසයක් නොවේ. උදාහරණයක් විධියට තට්ට හිසක් ඇති කෙනෙකුට තට්ටයා කීම අපහාසයක් නොවේ. හිස පුරා කොණ්ඩය තිබෙන කෙනෙකුට තට්ටයා කිව්වොත් තමයි අපහාසය වෙන්නේ. මෙතරම් බරපතල ආපදාවක් වුණේ ජනාධිපතිතුමාගේ නොසැලකිල්ලෙන් කියලා කරුණු 14ක් ඉදිරිපත් කරලා මම දැන් ප්‍රකාශයක් කලානෙ. පුළුවන් නම් මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න කියා මම වටගල ඇමතිතුමාට අභියෝග කරනවා.

තුන්වනුව, අපහාසයක් සිදු කලත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න බෑ. මොකද 2002 පසු ලංකාවේ සාපරාධි අපහාස නීතිය අහෝසි කරලා තිබෙන්නේ. එහෙම නම් නැති නීතියකින් අත්අඩංගුවට ගන්නේ කොහොමද? දැන් පුළුවන් වෙන්නේ අපහාස කිරීමකට සිවිල් නඩුවක් පවරලා වන්දි ලබා ගැනීම පමණයි. රජතුමාට අපහාස කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා වික්ටෝරිය රැජිනගේ කාලයේ දණ්ඩ නීති සංග්‍රහයට වගන්තියක් එක් කරලා තිබෙනවා. ඒ වගන්තිය යටතේ දඬුවම් කරන්න අනුර කුමරු රජ වුණේ නෑනෙ.

සිව්වෙනුව, හදිසි නීතිය යටතේ ඕනෑම පනතක්, රෙගුලාසියක්, චක්‍රලේඛයක් අත්හිටුවන්න ජනාධිපතිවරයාට බලය පැවරුනාට රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවන්න ජනාධිපතිට බෑ. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, භාෂණයේ නිදහස තහවුරු කරලා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තියෙන්. හදිසි නීතිය යටතේ ඒ වගන්තිය අත්හිටුවන්න ජනාධිපතිට බලයක් නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ නොසැලකිල්ල, අකර්මන්‍ය බව, නොහැකියාව විවේචනය කරන්න ඔබට තිබෙන අයිතිය හදිසි නීතිය යටතේ ඔබෙන් උදුරා ගන්න වටගල ඇමතිතුමාට බැරි බව වටගල ඇමතිතුමාටත් රටේ ජනතාවටත් සිහිපත් කරනවා.

විශේෂයෙන්ම ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා මේ මහ විපත සිදු වුණා කියන තිත්ත ඇත්ත ජනගත කරන අදීන මාධ්‍ය බියපත් කරන අදහසින් තමයි වටගල ඇමතිතුමා ඕක කිව්වේ. නමුත් හදිසි නීතිය බිල්ලා පෙන්වලා මේ රටේ සිටින අදීන මාධ්‍ය වොෂිංටන්ලා බවට පත් කරන්න බැරි බවට ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න කියා වටගල ඇමතිතුමාට අපි කියනවා.

වටගල ඇමතිතුමා මාධ්‍ය ඉදිරියේ පොලිසිය වට කරගෙන මේ නියෝග දෙන්නේ තමන් නීතිය දන්නා බව පෙන්වන්නයි. හැබැයි එතුමා තමන්ගේ නීතිය පිළිබඳ උගත්කම ප්‍රදර්ශනය කරන්න උත්සාහ කරන සෑම අවස්ථාවකම ප්‍රදර්ශනය වෙන්නේ නූගත්කම. ඒක හරියට බිග් කුච්චන් ඉංග්‍රිසි කතා කරනවා වගේ. ඒ නිසා සහෝදර නීතිඥයින්ට අනුකම්පා කරලා නමට ඉදිරියෙන් නීතිඥ කියන තනතුර භාවිතා කිරීමෙන් වැලකී සිටින ලෙස අපි එතුමාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

© all rights reserved
Designed by LCN Media