Slider

මාලිනීගේ රංගන හැකියාවට සමකළ හැකි නිළියක් ලෝකයේ කිසිදු රටකින් අසන්නවත් ලැබී නැහැ




මාලිනී ෆොන්සේකා දේශීය සිනමාවට කලාවට කළ මෙහෙය අසම සමයි. සිනමා ඉතිහාසයේ අනාගතයේ එවැනි චරිතයක් ගැන හිතන්නටවත් බෑ. අවුරුදු හැටකට පසුවත් ඇය ප්‍රධාන චරිතය රඟ පෑ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීම ආශ්චර්යයක්. ඒ ඇයගේ නිසඟ හැකියාව නිසා. එවැනි චරිතයක් ගැන ලෝකයේ කිසිදු රටකින් අසන්නටවත් ලැබී නැතැයි ප්‍රවීණ රංගවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මහතා මාලිනී ෆොන්සේකා රංගන වේදිනියගේ අවසන් කටයුතු සිදු කළ නිදහස් චතුරශ්‍ර භූමිය ඇය ගැන සංවේදී වෙමින් පැවැසුවේය.


රාජ්‍ය ගෞරව සහිතව පැවැති අවමඟුල් උළෙලේදී මහජන ගෞරවය සඳහා ඊයේ (26දා) පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සිට නිදහස් මන්දිරය වෙත රැගෙන ආ අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි අතර සවස 3.00 ට පමණ දේහය නිදහස් මන්දිරයේ සිට ඒ අසල පිහිටි විශේෂ පීඨිකාව වෙත රැගෙන ගියේය. ඒ වනවිටත් මුළු නිදහස් චතුරශ්‍රයම එකම හිස් ගොඩක් ව පැවැති අතර පිරිස පාලනයට පොලිසිය හා හමුදාව මහත් පරිශ්‍රමයක් දරන අයුරු දැකගත හැකි විය.



මාලිනී ෆොන්සේකා මහත්මිය අධ්‍යාපනය ලැබූ කැලණිය ගුරුකුල සිසු දරුවන් හා පවුලේ ඥාතීන් පෙරටු කර ගත් අවමංගල්‍ය රථයකින් විශේෂ පීඨිකාව වෙත රැගෙන ආ දේහය එහි තැම්පත් කිරීමෙන් අනතුරුව අවමංගල්‍ය උත්සවය සභාවේ කටයුතු ආරම්භ විය.

පිරිස පංචශීලයේ පිහිටුවීම කැලණිය හිටපු කුලපති කඹුරුගමුවේ වජිර නාහිමියන් විසින් සිදු කළහ. අනතුරුව මතක වස්ත්‍ර පිළිගැන්වීමෙන් පසුව පවුලේ ඥාතීන් හා කලාකරුවන් වෙන් වෙන්ව පැන් වැඩීම සිදු විය. අනතුරුව කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් හා උඩුවේ ධම්මාලෝක නාහිමිපාණන් විශේෂ අනුශාසනා දෙකක් පැවැත්වූ අතර එහිදී මාලිනී ෆොන්සේකා මහත්මිය වචනයේ පරිසමාප්තියෙන්ම මහෝපාසිකාවක් බව කිරින්දේ අස්සජි නාහිමියෝ පැවැසූහ.

එහිදී ඉතාමත් හැඟීම් බරව තවදුරටත් අදහස් දැක්වූ රවීන්ද්‍ර රන්දෙණිය මහතා මෙසේද පැවැසීය.

මා බොහෝ අවමංගල්‍ය උත්සවවල කතා පවත්වා තිබෙනවා. එහෙත් මෙතරම් වේදනාකාරී සංවේදී අවස්ථාවක් මගේ ජීවිතයේ කවදාවත් මට දැනිලා නෑ.

ඇය හා මගේ ජීවිතය අවුරුදු 50 ක පමණ කාලයක සම්බන්ධයක් වෘත්තීය සහෝදරත්ව සම්බන්ධතාවය ගෞරවාන්විතව පවත්වාගෙන යෑමට ඇය මට උදව් කළා. ඇය මට ගු-රුහරුකම් අවවාද මගපෙන්වමින් මගේ ජීවිතයටත් ආලෝකයක් වුණා.

ඇය ධර්මානුකූලව ජීවත් වුණු කෙනෙක්. තම ජීවිතය ධර්මයේ හරය කොටගෙන අවබෝධයෙන් ජීවත් වුණු චරිතයක්. ඇය ඉන්දියාවේ සිටියා නම් පද්ම ශ්‍රී නොව භාරත රත්න සම්මානයෙන් පිදුම් ලබනවා. රාජ්‍ය ගෞරව ඇයට ලැබුණත් ජනතාවගෙන් සම්මාන පිට සම්මාන ලැබුණා. ඇයට දරාගන්න බැරි තරමටම ඇය ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඇයට වයස 78 ක් ගෙවී ගිය මොහොතේ වසර 60 කට පසුවත් ඇයගේ විශිෂ්ට රංගන හැකියාව නිසා චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීම නිසා මේ තැබූ වාර්තාව සුවිශේෂයි. කවදාවත් අපේ දේශීය සිනමාවට මාලිනීට සමකළ හැකි ආදේශකයන් සොයන්නට බෑ.

අවමංගල්‍ය සභාව ඇමතූ ප්‍රවීණ සිනමා නිළි අනෝජා වීරසිංහ මහත්මිය,

මගේ මුල්ම චිත්‍රපටය රඟපාන කාලේ දී මම ඉතාම ආධුනිකයි. මට තිබුණේ මාලිනී ෆොන්සේකා මහත්මියගේ යෙහෙළියගේ චරිතයයි. එදා මට රඟපාල ඉවර වුණාම හැමෝම මට හිනාවුණා මොනවද ඒ කළේ කියලා. නමුත් මාලිනී අක්කා මට පැත්තකට කතා කරලා මගේ අඩුපාඩු කියලා දුන්නා. එහෙම කරලා අපි අඩුපාඩු හදාගෙන හොඳට රඟපෑවා. ඇය හැමවිටම අපිට හොඳ ගුරුවරියක් වුණා. මාලිනී අක්කා කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම උතුම් ගුණාංග පිරි කාන්තාවක්. මම විශ්වාස කරනවා ඇය එදත් අදත්, මතුවටත් සිංහල සිනාමවේ නිළි රැජිනමයි කියලා.

ස්තුති කතාවට එක්වෙමින් ඇයගේ මිණීබිරියක වන සමනලී ෆොන්සේකා.

ජීවිතයේ පුංචි පුංචි දේවල්වලටත් අසීමිත ලෙස ආදරය කළ කෙනෙක් ඇය. ඒ වගේම සුන්දර ගැහැණියක්. ගැහැණියකගේ ආත්මීය බව ඇය තුළ කැටිවී තිබුණා.

මාලිනී ෆොන්සේකා නමැති මහා සාරවත් වෘක්ෂයේ සෙවන කිසිදාක අපේ ජීවිත හැර නොයන බව දැනෙනවා යැයි ඉතා සංවේදී වෙමින් සමනලී ෆොන්සේකා මහත්මිය පැවැසුවාය. හැම කාලෙක තාරකාවක් ලෙස

රැස් වළල්ලත් එක්ක ජීවත් වුණු ඇය අපේ විශාල පවුල ඇතුළේදී ඉතාම සාමාන්‍ය ගැහැණියක්.

ගෙදරකට ආවාම සාලෙන් නැවතුණේ නෑ. කුස්සිය දක්වාම යන කෙනෙක් ඇය. ඇයගේ ජීවිතය ඇතුළේ අවංක කම ඇයගේ රංගන ජීවිතය මෙතරම් දීප්තිමත් වෙන්න බලපාන්න ඇති කියලා මං හිතනවා.

මොන තරම් කාර්ය බහුල වුණත් පවුලේ අයගේ ජීවිතවල හැම විශේෂ අවස්ථාවකදීම ඇය හිටියා. තමන්ගේ ඥාති දුව පුතාලා ලොකු මහත්වෙන හැටි බොහෝම ආදරයෙන් ඇය බලා සිටියා. ඒ වගේම ඒ අයගේ ජීවිත එළිය කරන්න උදව් කරන්න, උදව් කරන්න ඕන හැම අවස්ථාවකදීම උදව් කරන්න ඇය දෙපාරක් හිතුවේ නෑ. සමහර අවස්ථාවලදී ඇය මාලිනී ෆොන්සේකා වීමට අපේ ජීවිතවල බොහෝ අවස්ථාවල උදව්වක් වුණා. විශාල ආලෝකයක් වුණා.

ඇය අප අතර තවදුරටත් නොහිටියත් ඇගේ චරිතයෙන් ගලන ආලෝකය බොහෝ දෙනකුගේ ජීවිත ඉදිරියටත් එළිය කරාවි.

අවමංගල්‍ය උත්සව සභාවේ කටයුතු අවසන් වීමෙන් පසුව රැස්ව සිටි දස දහස් සංඛ්‍යාත මාලිනී ෆොන්සේකා මහත්මියගේ රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මැද ඇගේ දේහය පවුලේ ඥාතීන් හා කලාකරුවන්ගේ කර මතින් විශේෂයෙන් සැකසූ චිතකය වෙත රැගෙන යද්දී ගුවනින් මල් ඉසිමින් ඇයට උපහාර දැක්වීය.

මළහිරු බැස යමින් තිබිය දී මාලිනිය විසින් රංගන දායකත්වය දැක්වූ චිත්‍රපට ගීත පසුබිමෙන් වාදනය වෙමින් තිබියදී ඇගේ චිතකය ගින්නෙන් දැවී ගිය අතර ඇගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන් හා මිතුරු කලාකරුවන් හා රසික හිතවතුන් කඳුළු වගුරවමින් හඬා වැටෙද්දී මාලිනී ෆොන්සේකා නමැති මෙරට පහළ වූ අග්‍රගන්‍ය සිනමාවේදිනිය සිය අවසන් ගමනට එක්වූවාය. ඇගේ වියෝවෙන් කම්පාවට පත්වූවා සේ සොබා දහම ද චිතකය ගින්නෙන් දැවෙද්දී කඳුළු වරුසාවක් පතිත කරමින් ඇගේ අවසන් ගමනට ආසිරි පැතුවේය.

ධම්මික සල්වතුර, කමල් බෝගොඩ

© all rights reserved
Designed by LCN Media