මෙම අපරාධකරු සතුව තිබී අත්බෝම්බයක් සහ හෙරොයින් ද පොලිසිය සොයාගෙන තිබේ.
ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාගේ පාර්ශ්වයේ සංඛ සහ සුසන්ත යන අපරාධකරුවන්ගේ මෙහෙයවීමෙන් මෙම ඝාතන සැලසුම සකස්කර තිබී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර කුමාර ජයකොඩි මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකළ මෙහෙයුමකදී මෙම අපරාධකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේදීය.
රැවුල් ඉන්දික නමැත්තා ඝාතනය කිරීමට කුලී ඝාතකයකු පැමිණෙන තුරු මගබලා සිටියදී මොහු පොලිසියට කොටු වී ඇත.
රැවුල් ඉන්දික නමැත්තා ද විවිධ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකි. කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ සමීපතමයකු වන මොහු උන්නාරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෙහෙල්බද්දර පද්මේ සහ ගණේමුල්ලේ සංජීවගේ පාතාල කල්ලි දෙක අතර කාලයක පටන් පවතින ආරවුල මෙම කොන්ත්‍රාත් ඝාතන සැලසුමට හේතු වී ඇති බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් කොමාන්ඩෝ අසිත වසර 05කට ආසන්න කාලයක් කොමාන්ඩෝ බළකායේ රාජකාරි කර ඉන් පලාගිය අයෙකි. රැවුල් ඉන්දික නමැති පුද්ගලයා මිනුවන්ගොඩ පොලිසියේ පෙනී සිටීමට පැමිණෙද්දී මග රැකසිට ඔහුට වෙඩිතබා ඝාතනය කිරීමට කොමාන්ඩෝ අසිත සැලසුම් කරගෙන සිට ඇත.
අදාළ ඝාතනය වෙනුවෙන් පොරොන්දු වූ මුදලින් රුපියල් 20,000ක් කොමාන්ඩෝ අසිතගේ බැංකු ගිණුමට ඩුබායි සිට එවා ඇති බවද හෙළි වී තිබේ.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර කුමාර ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු