Slider

වැවු රක්‍ෂිත ලකුණු කරනවා විතරයි.. ඩඩ්ලිගේ හෝටලය ගලවනවාදැයි කියන්න බෑ..



රක්ෂිත සලකුණු කිරීම සඳහා වැව් 48ක් හඳුනාගෙන ඇති අතර, ඉන් වැව් 23ක වැඩකටයුතු 2025 වසරේදී ආරම්භ කිරීමට නියමිත යයි ඇමති නලින්ද ජයතිස්ස පවසයි.

කෙසේ වෙතත්, මෙම වැව් 23 අතරට පරාක්‍රම සමුද්‍රය ඇතුළත් නොවන බවත්, එය හඳුනාගෙන ඇති වැව් 48 අතරට අයත් වන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නා.

කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ වැව් රක්ෂිත සලකුණු කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බලය සහ අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමටයි.

පරාක්‍රම සමුද්‍ර රක්ෂිතයේ පිහිටි ඩඩ්ලි සිරිසේනට අයත් “සුදු අරලියා” හෝටලය ඉවත් කරන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, එම රක්ෂිතවල ඇති ඉදිකිරීම් කාගේද යන්න හෝ ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න තමන්ට කිව නොහැකි බවයි.

මෙම ප්‍රශ්නය මතු වූයේ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මීට පෙර පරාක්‍රම සමුද්‍ර රක්ෂිතයේ ඇති ඩඩ්ලි සිරිසේනට අයත් හෝටලය ඉවත් කළ යුතු බවට ප්‍රකාශයක් කර තිබීම හේතුවෙනි.
© all rights reserved
Designed by LCN Media