Slider

ජොනීගේ හෝටලය වැනසූ අරගලකරුවෝ උසාවියේ වරද පිලිගනී.. ජොනී වන්දි එපා කියයි…



2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය තීන්දු කළා.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාල හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80000/- දඩයක්ද නියම කළා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවයි.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියා.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව කියා සිටියා.

විත්තිකරුවන් ගෙවීන්ට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.

මෙම විත්තිකරුවන්ට පෙරවැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙරවැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවයි.

එම විත්තිකරුට තමන්ගේ පෙරවරදි පිළිබඳ අමතක විමක් තිබේ නම් ඔහුට මතක හිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාල විත්තිකරු තමන්ට පෙරවැරදි තිබෙන බව පිළිගත්තා.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළා.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියා.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යලින් නඩුව අගෝස්තු මස 28 වන දක් කැඳවීමටද විනිසුරු වරිය විසින් නියම කරනු ලැබුවා

උදය කුමාර
© all rights reserved
Designed by LCN Media