Slider

වන අලින්ට වෙඩි තැබීම් සහ අනවසර විදුලි වැට ඉදිකිරීම්වලට විරුද්ධව නීති දැඩි කරයි…



වන අලින්ට වෙඩි තැබීම්වලට විරුද්ධව නීති දැඩි කිරීමේ අරමුණෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේ දී පැවැත්විණ.

වන අලින්ට වෙඩි තැබීම් සිදුවීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වනජීවී දෙපාර්තමේන්තුව වෙත කරුණු වාර්තා වෙන අතර වන අලින්ට සිදු කරන වෙඩි තැබීම්වලට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස පරිසර අමාත්‍යවරයා විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබා දුන්නේය.

විශේෂයෙන් පුද්ගලික ඉඩම් කේන්ද්‍ර කර කරගනිමින් නීති විරෝධී ලෙස ඉදිකර ඇති විදුලි වැටවල් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහාත් වනසතුන් ඝාතනය කිරීමේ නීති යාවත්කාලීන කරමින් වරදකරුවන් වෙත දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.

අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා ගැනීම සඳහා මේ වන විට පරිසර අමාත්‍යංශය, වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සාධනීය විසඳුම් ලබා ගනිමින් පවතින අතර අලිමිනිස් ගැටුම් ප්‍රබල දිස්ත්‍රික්කයන් තෝරාගනිමින් අලි වැට ඉදිකිරීම් කටයුතු සිදු වේ.

එහි නඩත්තු කටයුතු සඳහා බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීම ද සිදු කළ අතර සිවිල් ආරක්ෂක භටයන්ගේ සහය ද මෙම වැඩපිළවෙළ සඳහා ඉදිරියේ දී ලබා ගැනීමට නියමිතය.
© all rights reserved
Designed by LCN Media