එහෙත් බොහෝවිට මේ පාතාල මැරයාගේ නම කියැවුණේ නැත. ඒ මන්දයත් මොහු කිසිම ප්‍රසිද්ධියක් ලබා නොගෙන නිහඬව සිටිමින් තමාට අවශ්‍ය දේ කරගන්නට හැමවිටම කටයුතු කිරීම නිසාය.
වර්තමාන පාතාලයේ ගෝර්ඩ් ෆාදර් ලෙස සිට ඝාතනයට ලක් වූ මාකඳුරේ මධුෂ්ගේ පාතාල ගුරා වූයේද උණාකූරුවේ ශාන්තය. ඒ තරම් දුර ඈත අතීතයට මේ පාතාල මැරයාගේ ඉතිහාසය ලියැවෙයි. උණාකූරුවේ ශාන්ත සහ උණාකූරුවේ තුසිත අතර පැවතියේ දැඩි මිතුදමකි. මොවුන් උණාකූරුව ගමේ එකට හැදී වැඩුණු පුද්ගලයෝය. උණාකූරුවේ ශාන්ත රටින් පැනගිය පසුව ද ඒ මිතුදම එසේම පැවතුණේය.
රටින් රටට පනිමින් සිටින උණාකූරුවේ ශාන්ත මේ වනවිට සිටින්නේ බෙලරූස් රාජ්‍යයේය. මීට මාස කීපයකට උඩදි උණාකූරුවේ ශාන්තගෙන් තුසිතට ඇමතුමක් ලැබුණේය.
මේ පාර මම ලොකු ලෝඩ් එකක් එවනවා. බිලියන් ගාණක ලෝඩ් එකක්. වැඩේ හරියට කරන්න ඕනේ. වැඩේ හරියට කළාම හොඳ ගාණක් දෙනවා. උඹ මට ඉන්න විශ්වාසවන්තම යාළුවා නිසයි කියන්නෙ.
උණාකූරුවේ ශාන්ත සිය කල්‍යාණ මිත්‍රයා වූ උණාකුරූවේ තුසිතට කීවේය. “හරි හරි ලොක්කා මීට කලින් කරපුවා වැරදිලා තියනවද? අපි වැඩේ කරමු මම ලෑස්තියි…. ශාන්තගේ කොන්ත්‍රාත්තුව භාරගත් උණාකූරුවේ තුසිත කීවේය.
ශාන්තයා ලොකු ලෝඩ් එකක් එවනවලු අපි වැඩේ හරියට කරන්න ඕනෙ. මොකද මේවා පොඩ්ඩක් හරි ගහලා ගියොත් කෝටි ගාණක් වතුරේ යනවා. උණාකූරුවේ තුසිත සිය පුත්‍රයාට මේ ගැන කීවේය. ශාන්ත තමන් වෙත ලබාදුන් කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට උණාකුරූවේ තුසිත එතැන් පටන් පියවර ගත්තේය.
උණාකූරුවේ ශාන්ත පාතාල ලෝකයට අත්පොත් තබන්නේ මීට වසර 25කට පමණ උඩදීය. එකල බස්රථ රියදුරකු ලෙස රැකියාව කළ ඔහු තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ චන්ඩියකු විය.
වර්තමාන පාතාලයේ ගෝර්ඩ් ෆාදර් ලෙස හැඳින් වූ මාකඳුරේ මධූෂ් එදා උණාකූරුවේ ශාන්ත සමග එකට බස්රථ රියදුරු රැකියාව කළේය. ඔවුන් දෙදෙනා ගජමිතුරන් වූ අතර මධූෂ්ට පෙර සිටම ශාන්ත පාතාල ක්‍රියාකාරකම්වල නිතර වුණේය.
කොල්ලකෑම් සොරකම් ස්ත්‍රී දූෂණ කප්පම් ගැනීම්වලින් සිය අපරාධ චාරිකාව ආරම්භ කළ උණාකූරුවේ ශාන්ත පසු කලෙක දරුණු අපරාධවල නිරතවන්නට පටන් ගත්තේය.
හුංගම රැකව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි සුරූපී විදේශ තරුණියක් දූෂණය කර දේපොළ කොල්ලකෑම සම්බන්ධයෙන් උණාකූරුවේ ශාන්ත ඇතුළු ඔහු සමග සිටි සහචරයන් පිරිසකට එදා චෝදනා එල්ල වී තිබිණ. මේ ආකාරයට තංගල්ලටම පිළිලයක් වෙමින් සිටි ශාන්ත පසු කලෙක ඔහුටම කියා පාතාල කල්ලියක් ගොඩනගා ගත්තේය.
මේ පාතාල කල්ලියේ සාමාජිකත්වය මාකඳුරේ මධුෂ්ට ද ලැබි තිබිණි. ඉඩම් ආරවුලක් මුල්කරගෙන එකල දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටියගේ මහතා මාකඳුරේ මධුෂ් විසින් වෙඩි තමා ඝාතනය කර තිබුණේය. මේ ඝාතනය සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර දී තිබුණේ උණාකූරුවේ ශාන්ත විසින්ය.
පසු කලෙක මාකඳුරේ මධුෂ් විදේශ ගත වූ අතර උණාකූරුවේ ශාන්ත ද ඔහු සමග රටින් බැහැර වුණේය.
මධුෂ් ඝාතනයට ලක්වීමෙන් පසුවත් ඔහුගේ කල්ලිය සමග දිගින් දිගටම සම්බන්ධතා පවත්වමින් මිනිස් ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරම් කප්පම් ගැනීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ ජයටම කරගෙන යන්නට උණාකූරුවේ ශාන්ත කටයුතු කළේය.
මධුෂ් ඝාතනයට ලක්වීමෙන් පසු කංජිපානී ඉම්රාන්, ලොකු පැටී, කැටසාගර ඇතුළු පාතාල මැරයන් සමග සමීප සබඳතා පවත්වමින් මෙරට බොහෝ අපරාධ පිටුපස සිටිමින් ඒවා මෙහෙය වූයේ උණාකූරුවේ ශාන්ත විසින්ය.
ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමද ඒ ආකාරයට උණාකූරුවේ ශාන්තගේ සැලසුමකට අනුව සිදු වූ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් විය.
මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ කෙළිකාරයන් වූ මාකඳුරේ මධුෂ් ඝාතනය වීමත් හරක්කටා, කෙහෙල්බද්දර පද්මේ, වෙලේ සුදා, මිදිගම රුවන් ඇතුළු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් අත්අඩංගුවට ගැනීමත් නිසා උණාකූරුවේ ශාන්තට වැඩ වැඩි විය.
මෙරට මත්ද්‍රව්‍ය අවශ්‍යතාව සපුරාලන්නට තොග පිටින් මත්ද්‍රව්‍ය ගෙන්වීම අවශ්‍ය වී තිබුණේය. මිට පෙරත් අවස්ථා ගණනාවකදී මත්ද්‍රව්‍ය තොග මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට යැවීමට ශාන්ත කටයුතු කර තිබුණ ද මෙවර අති විශාල මත්ද්‍රව්‍ය තොගයක් යැවිමට සැලසුම් කරන්නේ රටේ මත්ද්‍රව්‍ය අවශ්‍යතාව සීඝ්‍ර ලෙස ඉහළයමින් තිබූ නිසාය.
ඉකුත් 2024 වර්ෂයේදී උණාකූරුවේ ශාන්තට අයත් අයිස් මත්ද්‍රව්‍ය කිලේග්‍රෑම් 72ක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ මීගොඩ ප්‍රදේශයේදීය. පොල් ලොරියක පොල් ගෙඩි තුළ සඟවා මෙම අයිස් මත්ද්‍රව්‍ය දකුණේ සිට ප්‍රවාහනය කරමින් සිටියේ උණාකූරුවේ ශාන්තගේ මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයන් දෙදෙනෙක් විසින්ය.
මීට පෙරත් අවස්ථා කීපයකදී උණාකූරුවේ ශාන්තට අයත් හෙරොයින් තොග දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙවර අතගසා තිබුණේ ලොකු වැඩකටය.
මේ මත්ද්‍රව්‍ය ගනුදෙනුව සඳහා තවත් පාතාල මැරයකු සම්බන්ධ වුණේය. ඒ කළු සාගරය. පාතාල ලෝකයේ නොම්මර එකේ මිනීමරුවකු ලෙස කූප්‍රකට කළු සාගර උණාකූරුවේ ශාන්ත සමග එක්ව මේ දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට යැවීමේ සැලසුමට එක් වුණේය.
සීනිමෝදර නිවසේ මියගොස් සිටි තරුණයන් දෙදෙනා කළු සාගර යනු මරණීය දණ්ඩණය නියම වූ අපරාධකාරයෙකි. 1998 වර්ෂයේදී අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ නිවසකට කඩාවැදී එහි සිටි මව පියා දරුවන් දෙදෙනා ඇතුළු එකම පවුලේ හය දෙනෙක් කපා කොටා වෙඩි තබා බෝම්බ ගසා ඝාතනය කිරීම කළු සාගර ඇතුළු මැරයන් විසින් සිදු කළ බරපතළම අපරාධයක් විය. මේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 10ක් තිස්සේ පැවති නඩු විභාගයකින් අනතුරුව 2018 වර්ෂයේදී කළු සාගර ඇතුළු අට දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කෙරිණි.
එහෙත් ඒ වනවිටත් මේ පාතාල නරුමයා සිටියේ විදේශගතවය. ඒ ආකාරයට කළු සාගර විසින් සිදුකළ තවත් මිනිස් ඝාතන කොල්ලකෑම් පහරදීම් කප්පම් ගැනීම් මත්ද්‍රව්‍ය ජාවාරම් බොහෝය.
මේ අපරාධ ගොන්න නිසාම මේ වනවිටත් උණාකූරුවේ ශාන්තට සහ කළු සාගරට එරෙහිව පොලිසිය ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙන්තු ලබාගෙන සිටියි. එහෙත් ඒ කිසිවක් ගණනකට නොගන්නා මේ පාතාල නරුමයන් තවමත් අතිසුඛෝපභෝගී ජීවිත ගතකරමින් විදේශගතව සිට මේ පුංචි දිවයින විනාශ කරමින් සිටිති. උණාකූරුවේ ශාන්ත සිය කල්‍යාණ මිතුරා වූ තුසිත සමග දිගින් දිගටම දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී මත්ද්‍රව්‍ය තොගය එවීම පිළිබඳව සාකච්ඡා කළේය.
ඕන කරන හැම දෙයක්ම ලෑස්ති කරලා තියෙන්නේ. 21වැනිදා රෑ වෙද්දී ටෝලර් දෙකකින් බඩු එනවා මහවැල්ල වෙරලට. උඹට තියෙන්නේ විශ්වාසවන්ත දෙතුන් දෙනෙක් සෙට් කරගෙන බඩු ටික බාලා ලොරියට පටවන්න. බඩු ටික සීනිමෝදර ගෙදරට අරන් පලයන් මම ලොරි දෙකක් එතනට එවන්නම් උණාකූරුවේ ශාන්ත මත්ද්‍රව්‍ය මෙහෙයුම ගැන තුසිතට පැහැදිලි කළේය. සියලු කටයුතු නියමාකාරයෙන් සිදුවෙමින් පැවතුණේය. තුසිත සිය පුත්‍රයාද මේ මෙහෙයුමට සම්බන්ධ කර ගත්තේය.
ලොකු ලෝඩ් එකක් එන නිසා හතර පස් දෙනෙක් ඕනේ වෙයි මේක බාගන්න. ඒ නිසා විශ්වාසවන්ත කොල්ලෝ ටිකක් ලෑස්ති කරගන්න වෙනවා. උඹත් ලෑස්ති වෙයන් වැඩේට යන්න. තව හොඳ කොල්ලෙකුත් සොයා ගනින්. තුසිත සිය පුත්‍රයා වූ සුරේෂ්ට කීවේය. ඒ අනුව සුරේෂ් තම ඥාති සහෝදරයකු ඊට සම්බන්ධ කර ගත්තේය.
තුසිත හොඳින් දන්නා හඳුනන ගනුදෙනු කරන තරුණයන් දෙදෙනෙක් තංගල්ල ප්‍රදේශයේ එක්තරා සංචාරක හෝටලයක රැකියාව කළහ. මේ හෝටලය ප්‍රදේශයේ විපක්ෂයේ ප්‍රබල සාමාජිකයකුගේ සොහොයුරකුට අයත් එකකි. එහෙත් ඒ හෝටල් හිමිකරු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ අයකු නොවීය.
කාලයක පටන් සමීපව ඇසුරු කරන කල්හාර සහ ලක්‍ෂාන් මුණ ගැසුණු උණාකූරුවේ තුසිත තම අවශ්‍යතාව පැහැදිලි කළේය. මොවුන් දෙදෙනා අවුරුදු 21 සහ 24 වයසේ පසුවන ලාබාල තරුණයන්ය. අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටින ලක්ෂාන් සහ කල්හාර මෙහෙම දහදුරා වැඩකට සම්බන්ධ වන්නේ කීයක් හරි වැඩිපුර මුදලක් ලබාගෙන මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සඳහාය.
සැප්තැම්බර් 21 වැනිදා රාත්‍රිය උදා වුණේය. උණාකූරුවේ තුසිත හෝටල් සේවකයන් දෙදෙනා ද කැටිව මහවැල්ල මුහුදු වෙරළට ගියේය. තුසිතගේ පුත්‍රයා වන කලණ හා ඥාති පුත්‍රයකු ද ඒ වනවිට මහවැල්ල වෙරළට පැමිණ සිටියහ.
උණාකූරුවේ ශාන්ත දුරකථනය ඔස්සේ දිගින් දිගටම තුසිත සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය මෙහෙයුමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
ඉරාන සහ පාකිස්තාන ජාතිකයන් විසින් විශාල නෞකාවකින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය දකුණු මුහුදේදී ට්‍රෝලර් යාත්‍රා දෙකකට පටවා තිබිණි. හෙරොයින් තොගය එවා තිබුණේ ඇෆ්ගනිස්ථානයේ සිටය. මත්ද්‍රව්‍ය විශාල තොගයක් මිලදී ගන්නාවිට ජාවාරම්කරුවන් විසින් ත්‍යාගයක් ලෙස නවීන පන්නයේ අවි ආයුධ තොගයක් ද ලබාදීම ජාවාරමේ සාමාන්‍ය සම්ප්‍රදායක් වන්නේය.
උණාකූරුවේ ශාන්තට අයත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 700 ඉක්මවා තිබිණි. මත්ද්‍රව්‍ය තොගය සමග ටී 56 අවියක් සහ අති නවීන ස්වයංක්‍රීය පිස්තෝල 05ක් ද බෝනස් ත්‍යාග ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන්ට ලබාදී තිබිණ.
මහ මුහුද මැදදී මත්ද්‍රව්‍ය තොගය විශාල නෞකාවෙන් කුඩා ට්‍රෝලර් යාත්‍රාවලට පටවා තිබිණි. ට්‍රෝලර් යාත්‍රා දෙක මහවැල්ල වෙරළට එනතුරු පැය කීපයක් බලා සිටීමට තුසිත ඇතුළු පිරිසට සිදු විය. කාලය ගත කිරීම සඳහා තුසිත සිය සගයන් සමග බියර් පානය කළෝය. බියර් බෝතල් හත අටක්ම ඔවුන් හිස්කර දැමුවෝය. මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට තුසිතගේ කුඩා ප්‍රමාණයේ ඩීමෝ බට්ටා ලොරිය ද මහවැල්ල වෙරළට ගෙනැවිත් තිබුණේය. එදින රාත්‍රි 9.00 පමණ වනවිට ට්‍රෝලර් යාත්‍රා දෙක මහවැල්ල වෙරළට සේන්දු වුණේය.
“මෙතන වැඩි වෙලාවක් ගත කරන්න බැහැ. පුළුවන් ඉක්මනට බඩු ටික බාලා ලොරියට පටවන්න ඕනෙ. අපේ වැඩේ පොඩ්ඩක් හරි ලීක් වුණොත් සේරම ඉවරයි. දන්නවනෙ ශාන්තගෙ හැටි. අපිට මැරුම් කන්න වෙන්නෙ”
උණාකූරුවේ තුසිත සිය සගයන්ට කීවේය. සියල්ලෝම මුහුදට බැස ට්‍රෝලර්වලින් රැගෙන ආ අයිස් සහ හෙරොයින් අඩංගු පාර්සල් ඩීමෝ බට්ටා ලොරියට පටවන්නට වූහ. ඒ අතර එක් ට්‍රෝලර් යාත්‍රාවක් හදිසියේම දියේ ගිලෙන්නට විය. කල්හාර සහ ලක්ෂාන් මුහුදු ජලයේ කිමිදෙමින් ගිලෙමින් තිබූ යාත්‍රාවේ තිබූ අයිස් සහ හෙරොයින් ගොඩට ගෙන ආවෝය. අයිස් මත්ද්‍රව්‍ය අඩංගු ඇතැම් පෙට්ටි මුහුදු ජලය හා මිශ්‍ර වී තිබිණි.
පැය කීපයක මෙහෙයුමකින් පසු මත්ද්‍රව්‍ය තොගය ඩීමෝ බට්ටා ලොරියට පටවා ගත් තුසිත ඇතුළු පිරිස කාලය මිඩංගු නොකර මහවැල්ල මුහුදු තීරයෙන් ඉවත් වුණේය.
ඔවුන් සියලු දෙනා කෙලින්ම ගියේ තංගල්ල සීනිමෝදර පිහිටි උණාකූරුවේ ශාන්තට අයත් නිවසක් වෙතය. අලුතින් මිලදී ගත් මේ නිවස වටා විශාල තාප්පයක් ඉදිකර තිබුණේය. උණාකූරුවේ ශාන්ත ව්‍යාජ ලිපි ලේඛන සහ ලිපිනයන් ඉදිරිපත් කර මේ නිවස මිලදී ගෙන තිබුණේ මීට මාස කීපයකට උඩදීය. ඔහු මේ නිවස මිලදී ගන්නේ මත්ද්‍රව්‍ය බෙදාහරින සහ සඟවා ගබඩා කරන ස්ථානයක් ලෙස එය පවත්වාගෙන යෑමටය. නිවස වටා විශාල තාප්පයක් ඉදිකර ඉදිරිපස රෝලර් ගේට්ටුවක් ද දමා එය වසා දැමීමට ඔහුගේ සැලසුම වී තිබුණේය. එහෙත් ඒ කටයුතු නිම කිරීමට පෙර හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට ආවේය.
මේ ඉඩම මිලදී ගෙන ඒ වටා විශාල තාප්ප ඉදිකර ආරක්ෂිත නිවස්නයක් ලෙස එය සකස් කිරීමේ කාර්ය සිදුකරනු ලැබුවේ තුසිත විසින්ය. ඒ උණාකූරුවේ ශාන්තගේ උපදෙස් සහ අනුශාසනා ලබා ගෙනය.
මත්ද්‍රව්‍ය පටවා ගත් ලොරිය සීනිමෝදර ආරක්ෂිත නිවස වෙත රැගෙන එද්දි මධ්‍යම රාත්‍රිය උදාවෙමින් තිබුණේය. සියලු දෙනාම ඒ වනවිට සිටියේ අධික වෙහෙසට පත්වී ගෙනය. අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි කල්හාර සහ ලක්ෂාන් මත්ද්‍රව්‍ය තොගය දැකීමෙන් දැඩි ලෙස වික්ෂිප්ත භාවයට පත්ව සිටියහ.
“අපට මෙතන වැඩිවෙලා රැඳෙන්න බැහැ. මේ බඩු ටික පැක්කරලා ලොරිවලට පටවන්න ඕනෙ. ඒ වැඩේ කළාට පස්සේ උඹලට බොන්න ඕනෙ තරම් අයිස් දෙන්නම්. මුලින්ම මේ වැඩේ කරලා ඉමු…”
තුසිත සිය සගයන්ට කීවේය.
නිවසේ දොරගුලු වසා දමා අයිස් සහ හෙරොයින් පාර්සල් නියමාකාරයෙන් සැකසූ තුසිත ඇතුළු පිරිස ඒවා ලොරිවලට පැටවීමට කටයුතු කළේය. ඒ වනවිට විශාල ප්‍රමාණයේ ලොරි රථ දෙකක් සීනිමෝදර නිවස වෙත උණාකූරුවේ ශාන්ත විසින් එවා තිබුණේය. ලොරිවල ඉදිරිපස කොටසේ සුක්ෂ්ම ලෙස සකස් කළ කොටසක මත්ද්‍රව්‍ය තොගය සහ අවි ආයුධ ඇසුරූ තුසිත ඇතුළු පිරිස පැය කීපයක් ඇතුළ සිය කාර්ය නිම කළෝය. මත්ද්‍රව්‍ය ලොරිවලට පැටවීමේ කාර්ය සඳහා තුසිතගේ පුත්‍රයා සහ අනෙක් සගයා ද සහාය වූවෝය. සියලු කටයුතු නිම විය. මත්ද්‍රව්‍ය පැටවූ එක් ලොරියක් සීනිමෝදර නිවසින් පිටත්කර හැරියේය.
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට වැඩි ප්‍රමාණයක් පටවා තිබූ විශාල ලොරිය පිටත්කර යැවීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. දින කීපයක් තිස්සේ ඇදහැලී තිබූ වර්ෂාව නිසා සීනිමෝදර නිවස ඉදිරිපිට මිදුල මඩ වී තිබිණි. විශාල ලොරිය ඒ මඩවගුරේ එරී එය ඉවත්කර ගැනීමට නොහැකි විය. දැඩි උත්සාහයක් ගත්ත ද ලොරිය මඩවගුරෙන් ගොඩට ගැනීම අපහසු වුණේය.
“අපි මේ ලොරිය උදේට පිටත් කරමු. දැන් හොඳටම මහන්සියි. පුතතේ උඹ යාළුවන් එක්ක ගෙදර පලයං මම මෙතන ටිකක් වෙලා ඉඳලා එන්නම්…”
තුසිත සිය පුත්‍රයාට කීවේය.
පුත්‍රයා සිය ඥාති සොහොයුරා ද සමග නිවස බලා ගියේ පියාගේ උපදෙස් මතය. නිවසට ගොස් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් පියාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය.
“පුතේ මගේ පපුව රිදෙනවා. මොකක් දෝ හිතාගන්න බැරි අමාරුවක් දැනෙනවා. ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා ද මන්ද මුළු ඇඟම පිච්චෙනවා වගේ. දැන්ම වරෙන් මට ඉස්පිරිතාලෙ යන්න ඕනෙ”
උණාකූරුවේ තුසිත තම පුත්‍රයාට කීවේය. පුත්‍රයා ඥාති සොහොයුරා ද කැටිව සීනිමෝදර නිවසට ගියේය. ඒ වනවිට තුසිත සිටියේ දැඩි අපහසුවෙන් යුතුවය. කල්හාර සහ ලක්ෂාන් ද ඒ අසල වැතිර සිටියෝය. පුත්‍රයා වහාම තුසිත කැටිව තංගල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ආවේය. පියා රෝහල්ගත කර මූලික ප්‍රතිකාර ලබා දුන්නේය. ටික වේලාවකට පසු තුසිත තමන්ට නිවසට යාමට අවශ්‍ය බව කීවේය. පසුව පුත්‍රයා ඔහුව රෝහලෙන් රැගෙන නිවසට ආවේය.
එහෙත් රෝගී තත්ත්වය යහපත් වී තිබුණේ නැත. තුසිතගේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබුණේය.
“පුතේ මට ගොඩක් අමාරුයි මාව ඉක්මනට ඉස්පිරිතාලෙ අරන් පලයං…”
තුසිත කෙඳිරි ගෑවේය. පියාගේ තත්ත්වය හොඳ නැති බව තේරුම් ගත් පුත්‍රයා සිය ඥාති සොහොයුරා ද සමග එක්ව වහාම ඔහු තංගල්ල රෝහල වෙත රැගෙන ගියෝය. තුසිත රෝහල්ගත කෙරිණි. ඔහුගේ තත්ත්වය ඉතාම බරපතළ විය. මේ අතර තුසිතගේ ජංගම දුරකථනය වෙත දිගින් දිගටම උණාකූරුවේ ශාන්ත ඇමතුම් ලබාගනිමින් සිටියේය. පියා දුරකථන ඇමතුම ලබා ගැනීමට තරම් හොඳ සෞඛ්‍ය මට්ටමක නොසිටි නිසා පුත්‍රයා ඊට ප්‍රතිචාර දැක් වූවේය.
“තාත්තට හොඳටම අමාරුයි. එයා තංගල්ල හොස්පිට්ල් එකේ ඉන්නේ”
පුත්‍රයා උණාකූරුවේ ශාන්තට කීවේය. ඒ වනවිට ශාන්ත අසූහාරදහසට කෝප වී සිටියේය.
“උඹලා මෙතන මඟුල් නටන්න ලෑස්ති වෙන්න එපා. උඹේ තාත්තට මොනවා වුණත් මට වැඩක් නැහැ. සීනිමෝදර ගෙදර තියන ලොරිය එතනින් පිටත් කරපල්ලා. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වැඩේ දැන්ම කරපං. නැත්නම් දන්නවනෙ උණාකූරුවේ ශාන්තගෙ හැටි. උඹලා සේරම බානවා…” ශාන්ත කෝපයෙන් කෑගැසුවේය.
“පුතේ උඹලා ඒ වැඩේ ඉවරයක් කරලා හිටපල්ලා. නැත්නම් දන්නවනෙ ශාන්තයගෙ හැටි ඕකා සර්පයා වගේ මිනිහා දැන්ම ගිහින් ලොරිය පිටත් කරපල්ලා මම ඉස්පිරිතාලෙනෙ ඉන්නෙ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
තුසිත දැඩි වේදනාවෙන් කෙඳිරිගාමින් තම පුත්‍රයාට කීවේය. තුසිතගේ පුත්‍රයා සිය ඥාති සොහොයුරු ද කැටිව සීනිමෝදර නිවස වෙත ගියේය. ඒ වනවිට මඩේ එරුණු ලොරියේ රියැදුරු පමණක් එහි සිටියේය. තුසිතගේ පුත්‍රයා නිවසට ඇතුළු වී අනෙක් සගයන් දෙදෙනා කොහෙ දැයි විමසිලිමත් වුණේය. ඒ වනවිට ඔවුන් දෙදෙනා නිවසේ කාමරයක් තුළ මියගොස් සිටිනු දුටු තුසිතගේ පුත්‍රයා දැඩි ලෙස කලබලයට පත් වුණේය. බැලූ බැල්මට ඔහු සිතුවේ ඔවුන් ඝාතනය කර ඇති බවය. තුසිතගේ පුත්‍රයා සහ ඥාති සොයුරු සීනිමෝදර නිවසින් පැන ගන්නට උත්සාහ කළෝය. එහෙත් ලොරි රියැදුරුගෙන් ඔවුන්ට ගැලවීමක් ලැබුණේ නැත. නිවසේ සිටි තරුණයන් මිය ගොස් ඇති බව ඒවන විට උණාකූරුවේ ශාන්ත දැන සිටියේය. ඔහුට අවශ්‍ය වී තිබුණේ ඒ නිවසට පොලිසිය පැමිණීමට පෙර එහි මඩේ එරී තිබෙන ලොරි රථය පිටත්කර හැරීමටය. එහෙත් දැඩි ලෙස බියට පත්ව සිටි තුසිතගේ පුත්‍රයා සහ ඔහුගේ සගයා නිවසින් පැන ප්‍රධාන මාර්ගය ඔස්සේ දිවයන්නට වූහ.
ඒ අතර මාර්ගය ඔස්සේ ත්‍රිරෝද රථයක් ආවේය. තුසිතගේ පුත්‍රයා සහ සගයා ඊට ගොඩවන්නේ කිසියම් උපකාරයක් ඔහුගෙන් ලබා ගැනීමේ අදහසින්ය.
එහෙත් ත්‍රිරෝද රථයේ පැමිණ සිටියේ උණාකූරුවේ ශාන්තගේ කල්ලියේ ඔත්තුකරුවෙකි.
අර ගේ ඇතුළෙ කොල්ලො දෙන්නෙක් මැරිලා ඉන්නවා අපිවත් මරන්න උන් හැදුවෙ අපිව ඉක්මනට මෙතනින් ගෙනියන්න.
තුසිතගේ පුත්‍රයා ත්‍රිරෝද රථ රියැදුරුට කීවේ ඔහු ශාන්තගේ ගෝලයකු බව නොදැනය. උණාකූරුවේ ශාන්තගේ සගයා තුසිතගේ පුත්‍රයා සහ ඥාති සොහොයුරා නැවත සීනිමෝදර නිවසට රැගෙන යෑමට උත්සාහ කළේය. අන්තිමේදී ඔවුන් ශාන්තගේ ගෝලයාට පහරදී ත්‍රිරෝද රථයෙන් පැන අඳුරේම නොපෙනී ගියෝය.
22 වැනිදා දිනය උදා වුණේය. උදේ 7.00 පමණ වනවිට තරුණයන් දෙදෙනෙක් තංගල්ල පොලිසිය වෙත පැමිණ සිටියෝය.
සර් සීනිමෝදර ගෙයක් ඇතුළෙ කොල්ලො දෙන්නෙක් මැරිලා ඉන්නවා අපේ තාත්තත් එතන ඉඳලා ආවෙ පාන්දර එයත් නැති වුණා. එයාගෙ මිනිය තංගල්ල හොස්පිටල් එකේ. තරුණයන් දෙදෙනා සිදුවී ඇති විපත ගැන තංගල්ල පොලිසිය දැනුවත් කළෝය. ඒ වනවිට තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කපිල සේනාපති ද සිල්වා මහතා සිටියේ නගරයේ කිසියම් රාජකාරියකය. පොලිසිය මගින් මේ සිද්ධිය පිළිබඳව ඔහු දැනුවත් කළේය.
ඇතිවී තිබෙන බරපතළ තත්ත්වය තේරුම් ගත් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සීනිමෝදර නිවස වෙත ගියේය. මේ සිද්ධිය පිළිබඳව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගම යන මහත්වරුන් දැනුවත් කිරීමට මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඒ වනවිටත් කටයුතු කර තිබුණේය.
නිවස ඉදිරිපිට නතර කර තිබූ ඩිමෝ බට්ටා ලොරියේ තිබී ජලයේ දියවුණු අයිස් මත්ද්‍රව්‍ය පෙට්ටි 10ක් පොලිසිය විසින් සොයා ගත්තේය. කිසියම් බරපතළ දෙයක් මෙහි සිදුවී ඇති බව තේරුම් ගත් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සීනිමෝදර නිවස වෙත ආවේය. ඒ වනවිටත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එහි පැමිණ සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹිණි. රාජ්‍ය බුද්ධි නිලධාරීන් විසින් ඉතාම වැදගත් තොරතුරක් සොයාගෙන තිබුණේය.
මේ නිවසේ නතරකර තිබූ තවත් ලොරි රථයක් එහි සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි ගරාජයක් සහිත නිවසක නතර කර ඇති බවට ලැබුණු තොරතුර මත පොලිසිය ක්‍රියාත්මක වුණේය.
කිත්සිරි ජයලත් මහතාගේ නියෝග මත පොලිස් කණ්ඩායමක් එහි ගොස් ලොරිය පරීක්‍ෂා කළේය. ලොරියේ මුල් කොටසේ පැණි කොමඩු පටවා තිබුණේුය. එහෙත් ඒ ගැන සැක පහළ කළ පොලිස් නිලධාරීන් කොමඩු සියල්ල බිමට බා ලොරියේ ඉදිරි කොටස පරීක්‍ෂා කළෝය. එහි ඉදිරි කොටසේ සකස් කළ කුටියක අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් ගබඩා කර තිබෙනු සොයා ගැනීමට පොලිසියට හැකි විය. කිත්සිරි ජයලත් නිපුණ දෙහිගම ඇතුළු නිලධාරීන් වහා ගොස් ඒ ලොරිය පරීක්‍ෂා කළෝය. එහි ඉදිරිපස රහසිගත කුටියේ තිබී ටී 56 අවියක් ද පිස්තෝල 04ක් ද සොයා ගැනීමට පොලිසියට හැකි විය. මේ අතර සීනිමෝදර නිවසේ ඇති අනෙක් ලොරිය පරීක්‍ෂා කරන්න ජයලත් මහතා නිලධාරීන්ට කීවේය.
සීනිමෝදර නිවසේ විමර්ශන කටයුතු කරමින් සිටි පොලිස් නිලධාරීන්ගෙන් තවත් වැදගත් තොරතුරක් කිත්සිරි ජයලත් මහතාට ලැබුණේය. සර් මෙතන තියන අනෙක් ලොරියෙත් සැක කටයුතු විදිහට හදපු කුටියක් තියනවා අපිට හිතෙන්නෙ ඒකෙත් බඩු හංගලා තියෙනවා.
පොලිස් නිලධාරීන් ජයලත් මහතා දැනුවත් කළහ. කිත්සිරි ජයලත් සහ නිපුණ දෙහිගම ඇතුළු නිලධාරීන් සීනිමෝදර නිවස වෙත නැවත ආවෝය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ එහි තිබූ අනෙක් ලොරියේ සැක කටයුතු කුටිය කඩා පරීක්‍ෂා කළෝය. එම කුටිය තුළ අයිස් සහ හෙරොයින් විශාල ප්‍රමාණයක් ගබඩා කර තිබුණේය. පොලිසිය ක්‍ෂණිකව ක්‍රියාත්මකවීම නිසා මහවැල්ලෙන් ගොඩබෑ මත්ද්‍රව්‍ය සියල්ලම අත්අඩංගුවට ගැනීමට හැකි විය.
ලොරි රථ දෙකේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 705කි. එහි සාමාන්‍ය වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 1000 ඉක්මවයි. මෙතෙක් ඉතිහාසයේ ගොඩබිමදී අත්අඩංගුවට ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගය මෙය විය.
මත්ද්‍රව්‍ය තොගය පරීක්‍ෂා කිරීමට මෙන්ම ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක වන ආකාරය සොයා බලා උපදෙස් ලබාදීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එදිනම සවස තංගල්ලට ආවේය.
පොලිසිය දිගින් දිගටම පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එල්ල කරන ප්‍රහාරවල තවත් සුවිශේෂී ප්‍රහාරයක් ලෙස මේ තංගල්ලේ වැටලීම හැඳින්විය හැකිය.
සීනිමෝදර නිවසේ මියගිය පුද්ගලයන් දෙදෙනාගේ සහ උණාකූරුවේ තුසිතගේ මරණ පිළිබඳව හදිසි මරණ පරීක්‍ෂණ තංගල්ල රෝහලේදී පැවැත්විණි. එහිදී අනාවරණය වූයේ මේ පුද්ගලයන් තිදෙනාම මියගොස් ඇත්තේ අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් බවයි. පිනට ලැබුණු අයිස් මත්ද්‍රව්‍ය ඉවක් බවක් නොමැතිව පානය කිරීම.
පොලිස් ඉතිහාසයේ ගොඩබිමදී සිදු කළ දැවැන්තම මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමේ ඉදිරි කටයුතු කරගෙන යෑමට අවශ්‍ය සියලු උපදෙස් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිය නිලධාරීන්ට ලබා දුන්නේය. ඊට අවශ්‍ය සියලු පහසුකම් ද නොඅඩුව ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.
ඒ අනුව මෙම ලොරි රථවල හිමිකරුවන් මෙන්ම උණාකූරුවේ තුසිතගේ පුත්‍රයා සහ ඥාති සොහොයුරු ද පොලිස් අත්අඩංගුවට පත් විය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙන තිබූ එක් ලොරියක හිමිකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු උණාකූරුවේ ශාන්තගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියෙකි. මීට පෙර සිව් වතාවක්ම ඔහු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වී බන්ධනාගාරගත වූ අයෙකි.
පොලිසියේ උකුසු ඇස නිසා උණාකූරුවේ ශාන්තගේ සියලුම සැලසුම් ව්‍යර්ථ වී ගොස් තිබුණේය. උණාකූරුවේ ශාන්තට සහ කළු සාගරට සිදුවූ පාඩුව රුපියල් කෝටි 1000 ඉක්මවයි.
ශ්‍රී ලංකාවට එවන මත්ද්‍රව්‍ය මහ මුහුදේදී ආරක්‍ෂක අංශ අතට පත් වූවෝත් එම මත්ද්‍රව්‍යවල අලාභය ඒවා නිෂ්පාදනය කරන ජාවාරම්කරුවන් විසින් දරනු ලබයි.
එහෙත් මත්ද්‍රව්‍ය තොගය මුහුදින් ගොඩබා ගොඩබිමට රැගෙන ගිය පසු අත්අඩංගුවට පත් වූවොත් එහි අලාභය මත්ද්‍රව්‍ය මිලදී ගත් පාර්ශ්වය විසින් දැරිය යුතුය.
මේ න්‍යායට අනුව උණාකූරුවේ ශාන්තට සහ කළු සාගරට සිදුවී ඇති පාඩුව සුළුපටු නොවන්නේය.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුන දෙහිගම ඇතුළු පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී මේ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට නොගන්නට ඒවා ජාවාරම්කරුවන් විසින් රට පුරා බෙදාහරිනු ඇත.
ඉතිහාසගත වූ මේ මත්ද්‍රවය වැටලීම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම ගෞරවය හිමි විය යුතුය.
උණාකූරුවේ ශාන්ත එවූ මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීමට සිටින මෙරට ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලිසිය විසින් මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබෙයි. හෙට දිනයේ මත්ද්‍රව්‍ය ලෝකයේ තෝරුන් මෝරුන් රැසක් පොලිසියට කොටුවනු ඇත.
හේමන්ත රන්දුණු