Slider

රජයේ වී සහල් කරන්න අරුම පුදුම ටෙන්ඩරයක්.. මිලියන ගණනක වංචාවක්..



රජයේ වී සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී අරුම පුදුම ටෙන්ඩරයක් කැඳවමින් විශාල වංචාවක් සිදුවී ඇති බවත් මෙම ටෙන්ඩරය මගින් රජයේ මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 200ක මුදලක් අහිමි කර ඇති බවත් ශ‍්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු මුදිත පෙරේරා මහතා චෝදනා එල්ල කරයි.පෙරේරා මහතා පෙන්වා දෙන්නේ ලංකා සත්ව ආයතනය විසින් පළමු වරට කැඳවන ලද මෙම ටෙන්ඩරය හරහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් රජයේ වී සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බවයි.

මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරන්නේ යම් පුද්ගලයෙකුගේ හිතවතෙකුට රජයේ සියලු වී සහල් බවට පත් කිරීමේ අවස්ථාව ලබාදීමේ අරමුණින් බවට සම්මේලනය චෝදනා කරයි.

මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් සිදු කළ යුතු වුවත්, මෙම ටෙන්ඩර් ලියවිලිවලට අත්සන් කර ඇත්තේ සතොස සභාපතිවරයාමය. ප්‍රසම්පාදන කමිටු සභාපති විදිහට නොව, සතොස සභාපති විදිහටය. චෝදනා එල්ල වන්නේ සතොස සභාපති කෝසල විල්භාව මහතාටයි.

පෙරේරා මහතාට අනුව, සාමාන්‍යයෙන් ලංකාවේ වී ප්‍රභේදය, දිස්ත්‍රික්කය සහ සහල් නිෂ්පාදනය කරන වර්ගය අනුව විවිධ ප්‍රතිශතවලින් සහල් ලැබෙනවා. කෙසේ වෙතත්, කෝසල විල්භාව මහතා විසින් තීරණය කර ඇත්තේ යල කන්නේ ලංකාවේ වීවලින් ලැබිය හැකි සහල් ප්‍රතිශතය 63% ක් බවයි.

මෙය වංචාවක් බවට පෙන්වා දෙන්නේ, රතු වී ප්‍රභේද ගත් විට 65%, 66%, හෝ 67% ක් දක්වා සහල් ලබාගත හැකි වීම නිසාය. තවද, යල කන්නේ සුදු වී වර්ග ගත්තද 63% ට ඉහළ ප්‍රතිශතයක් ලබාගත හැකි බව පෙන්වා දෙනු ලැබේ.

63% යන සහල් ප්‍රතිශතය ගැනීම මත පමණක් 2% ක “කට් එකක්” ගොස් ඇති අතර, ඒ හේතුවෙන් මහා භාණ්ඩාගාරයට ආසන්න වශයෙන් මිලියන 200ක මුදලක් අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සම්මේලනය කෝසල විල්භාව මහතාට තරයේ අවධාරණය කරන්නේ, ඇමතිවරයෙකු හෝ වෙනත් දේශපාලනඥයෙකු පැවසූ පමණින් ඔහුගේ යාළුවෙකුට මෙම වී තොග ලබා දීමට තීරණය කරන්නේ නම්, ඔවුන් නීතිමය කටයුතු ගැනීමට කිසිසේත් පසුබට නොවන බවයි.

සම්මේලනය ඉල්ලා සිටින්නේ ඉදිරි පැය 48 ඇතුළතදී මෙම ටෙන්ඩර් දැන්වීම වහාම අවලංගු කර, නව ටෙන්ඩර් නිවේදනයකට යා යුතු බවයි.

එසේ නොවුණහොත්, කෝසල විල්භාව මහතාට අනිවාර්යයෙන්ම නලින් ප්‍රණාන්දු අමාත්‍යවරයාව වැලිකඩදී මුණගැසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට සම්මේලනය අවධාරණය කරයි.

මීට වසර 11 කට පෙර ඔහුගේ පුටුවේ සිටි සතොස සභාපතිවරයා වූ නලින් ප්‍රණාන්දු මහතා ‘කැරම් බෝඩ් සෙල්ලමකට’ හිරේ ගිය බවත්, විල්භාව මහතාට මෙම ‘වී සෙල්ලමකින්’ හිරේ යන්නට නියමිත බවත් මෙහිදී සිහිපත් කර දෙනු ලැබිණි
© all rights reserved
Designed by LCN Media