Slider

වීදියක ගිලාබෑමක්.. පාසල් සිසුන් සහ ජනතාව දැඩි අවදානමක්..



හැටන් ප්‍රදේශේ අඛණ්ඩව ඇදහෙලෙන අධික වර්ෂාව හේතුවෙන් පිපිරීමක් සිදුවී ගිලාබැසීමට ලක් වූ හැටන් ඩන්බාර් වීදියේ කොටසක් මේ වන විට සීඝ්‍රයෙන් විශාල වෙමින් පැවතීම නිසා එම මාර්ගය භාවිතා කරන පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවකට සහ අනතුරුදායක තත්ත්වයකට පත්ව සිටිති.

​ගැටලුව ආරම්භ වූයේ පසුගිය දින ඇද හැලුණු වර්ෂාවත් සමඟ මාර්ගයේ කොටසක් සුළු වශයෙන් ගිලාබැසීමෙනි.

එතැන් පටන් දිනෙන් දින මෙම ගිලාබෑම විශාල වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම විශාල කුහරය හේතුවෙන් දැනටමත් පාසල් ළමුන් සහ රථ වාහන කිහිපයක් එයට වැටී අනතුරු සිදුවී ඇති බවට වාර්තා වේ.

​ඩන්බාර් වීදිය යනු හැටන් නගරයේ ප්‍රධාන මාර්ගයක් වන අතර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාසල් දෙකක් රජයේ ආයතන කිහිපයක් මෙන්ම හැටන් නගරයේ ප්‍රධාන ක්‍රීඩාංගණය වෙත යෑමට ජනතාව ප්‍රධාන වශයෙන් මෙම මාර්ගය භාවිතා කරති.

මෙම මාර්ග බාධාව දෛනික ජීවිතයට බරපතල ලෙස බලපා ඇත.

​කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම අනතුරුදායක තත්ත්වය පිළිබඳව දැනට සති දෙකකට පමණ පෙර හැටන් නගර සභාවට පැමිණිලි කර තිබුණද මේ දක්වාම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

​ගිලාබෑම හේතුවෙන් මාර්ගයේ ගමන් කිරීමට සිදුව ඇති දැඩි අවදානම සැලකිල්ලට ගෙන නගර සභාව විසින් කඩිනමින් ගැටලුවට විසඳුම් ලබා දී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ප්‍රදේශවාසීහු වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති

– ආර්.එෆ්.එම්.සුහෙල්
© all rights reserved
Designed by LCN Media